16/07/2026
අපගේ උදෑසන ඉගෙනුම් සහාය කණ්ඩායම ගැන අසන බොහෝ දෙනාගේ පළමු ප්‍රශ්නය වන්නේ,
"මේක පාසලක්ද?"
"පන්තියක්ද?"
"හැසිරීම් වෙනස් කරන වැඩසටහනක්ද?"
අපගේ පිළිතුර නැහැ යන්නයි.
මෙය ඔටිසම් ඇතුළු සංවර්ධනීය වෙනස්කම් ඇති නව යොවුන් දරුවන්ට සහ තරුණ වැඩිහිටියන්ට තමන් ලෙසම සිටිය හැකි, පිළිගැනීම, අවබෝධය සහ සහයෝගය ලැබෙන ආරක්ෂිත පරිසරයකි.
අපගේ අරමුණ ඔවුන්ව "වෙනස් කිරීම" නොවෙයි. අප විශ්වාස කරන්නේ ඔවුන්ට අවශ්‍ය වන්නේ තේරුම් ගැනීම, අවස්ථා ලබාදීම සහ ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට සහාය වීම බවයි.
අපිට නිල ඇඳුමක් නැහැ. ස්නායු විවිධත්වයෙන් යුතු අපේ බොහොමයක් දරුවන්ට, වර්ණ සහ ස්පර්ශය සම්බන්ධ සංවේදන සංවේදීතා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට තමන් කැමති ලෙස සුවපහසු ලෙස ඇඳගෙන, සතුටින් සහ විශ්වාසයෙන් පැමිණිය හැකි පරිසරයක් අපි සකස් කර තිබෙනවා.
අපේ උදෑසන ගෙවෙන්නේ සැබෑ ජීවිතයත් සමඟයි. අපි එකට තේ හදනවා, කෙටි ආහාර පිළියෙළ කරනවා, අවශ්‍ය දේවල් මිලදී ගැනීමට ළඟම ඇති කඩයට යනවා, පැළ සිටුවනවා, කාමරය පිළිවෙළ කරනවා, සින්දු කියනවා, නටනවා, චිත්‍ර සහ නිර්මාණ කරනවා. මේවා කාලය ගත කිරීමට කරන ක්‍රියාකාරකම් විතරක් නෙවෙයි, දෛනික ජීවන කුසලතා, සමාජ කුසලතා සහ සන්නිවේදන කුසලතා ස්වභාවිකව ඉගෙන ගන්නා විවිධ ක්‍රම.
සෑම පුද්ගලයෙකුම එකිනෙකාට වෙනස්. මේ දරුවො කැමති අකමැති දේවල් විවිධාකාරයි. ඒ අයගේ කුසලතාත් විවිධාකාරයි. කවුද පිළිවෙළට වැඩ කරන්න කැමති? කවුද සංගීතයට ආදරය කරන්නේ? කවුද ආහාර පිසීමට කැමති? කවුද චිත්‍ර ඇඳීමට කැමති? ඒ අනුව වගකීම් ලබා දී ඔවුන්ගේ ශක්තීන් මත අත්දැකීම් ඔස්සේ ඉගෙන ගැනීම තමයි අපේ කණ්ඩායම ඇතුලේ සිද්ධ වෙන්නේ.
අපි විශ්වාස කරන්නේ හැසිරීම යනු සන්නිවේදන ක්‍රමයක් බවයි. ඒ නිසා අභියෝගාත්මක හැසිරීමක් දුටු විට අපි අසන්නේ "මෙය නවත්වන්නේ කොහොමද?" කියලා නෙවෙයි, "මේ දරුවා අපට කියන්න උත්සාහ කරන්නේ මොකක්ද?" කියලයි.
අපි හේතු සොයනවා, ආරක්ෂාව තහවුරු කරනවා, සංවේදන පීඩනය අඩු කරනවා, ඔවුන්ට තම හැඟීම් පාලනය කර ගැනීමට අවශ්‍ය කාලය සහ සහාය ලබා දෙනවා.
වෘත්තීය කුසලතා සංවර්ධනයත් අපගේ වැඩසටහනේ වැදගත් කොටසක්. උදාහරණයක් ලෙස, අපගේ එක් තරුණ දරුවෙකුට ඖෂධ කවර සෑදීමේදී කපා නැවීම අපහසු බව අප දුටුවා, හැබැයි ඔහුට අලවා සකස් කිරීම ඉතා හොඳින් කළ හැකි බවත් අප දැක්කා. ඒ නිසා අපි කාර්යය ඔහුට ගැළපෙන පරිදි වෙනස් කිරීම් සිදු කරන තමයි බාර දෙන්නේ. අනිත් පියවරවලට කැමති දරුවෝ වගේම මේ දරුවන්ට සහය වන අපේ කණ්ඩායම අනික් පියවර සම්පූර්ණ කරනවා. අවසානයේ එක නිෂ්පාදනයක් බිහිවෙන්නේ කණ්ඩායම් වැඩක් ලෙසයි.
අපගේ ඉලක්කය වේගයෙන් නිෂ්පාදනය කිරීම නොව, ආත්මවිශ්වාසය, රැකියා කුසලතා, සහභාගීත්වය සහ ආර්ථික ස්වාධීනත්වය ගොඩනැගීමයි.
මේ දරුවන්ට ඔවුන් කැමති විදිහට දේවල් ඉගෙනගන්න ස්වාධීන වෙන්න නිර්මාණය වුණු සහාය කණ්ඩායමක් තමයි මේ තියෙන්නේ.
ඔවුන්ව පිළිගන්නා, ඔවුන්ගේ විවිධත්වයට ගරු කරන, ශක්තීන් හඳුනාගෙන වර්ධනය කරන සහ සමාජයේ ගෞරවයෙන්, අරමුණක් ඇතිව සහ ස්වාධීනව ජීවත් වීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන ප්‍රජාවක් ගොඩනැගීම තමයි අපේ අරමුණ.