27/07/2026
වයස 40 පහු වුණා විතරයි, අකුරු කියවන්න අමාරුද?
ජීවිතයේ දශක හතරක් පසු කරද්දී අපේ ශරීරයේ නොයෙකුත් වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. අතීතයේ සිටම බොහෝ දෙනෙක් පවසන්නේ ජීවිතය සැබෑ ලෙසම ආරම්භ වන්නේ වයස 40 න් පසුව කියායි. නමුත් මේ කඩඉමට එළඹෙද්දී බොහෝ දෙනෙකුට පොත්පත් කියවීමට, ජංගම දුරකථනය පරිහරණය කිරීමට හෝ ඉතා කුඩා අකුරු කියවීමට යම් අපහසුතාවක් දැනෙන්නට පුළුවන්. මීට හේතුව වන්නේ වෛද්‍ය විද්‍යාත්මකව Presbyopia හෙවත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී "හතළිස් ඇඳිරිය" ලෙස හදුන්වන තත්වය නිසායි.
1. හතළිස් ඇඳිරිය (Presbyopia) කියන්නේ මොකක්ද? එය ඇතිවීමට බලපාන හේතු මොනවාද?
තරුණ වියේදී අපේ ඇසේ තිබු ඇති කාචය (Lens) ඉතා නම්‍යශීලී ස්වභාවයක් ගන්නවා. කැමරාවක කාචයක් නාභිගත (Focus) වන ආකාරයටම, දුර සහ ළඟ බලන විට ඇසේ කාචයේ හැඩය ඉක්මනින් වෙනස් කරගන්නට මෙම නම්‍යශීලී බව උදව් වෙනවා. විශේෂයෙන් අප ළඟ ඇති දෙයක් දෙස බලන විට ඇසේ කාචයේ වක්‍රතාව වැඩි කරගෙන, ආලෝක කිරණ නිවැරදිව දෘෂ්ටි විතානය (Retina) මතට නාභිගත කිරීම මෙහිදී සිදු වෙනවා. නමුත් වයස අවුරුදු 40 පසු වන විට මෙම කාචයේ නම්‍යශීලී බව ක්‍රමයෙන් අඩුවී එය ඝන බවට පත් වීමට පටන් ගන්නවා. ඒ සමඟම කාචය අවට ඇති මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයත් යම් දුරකට දුර්වල වන නිසා, ළඟ ඇති දේවල් දෙස බලන විට ආලෝක කිරණ නිවැරදිව දෘෂ්ටි විතානය මතට වැටෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ළඟ ඇති රූප හෝ අකුරු බොඳ වී පෙනෙන්නට පටන් ගන්නවා. මෙය රෝගයක් නොව වයසට යාමත් සමඟ සිදුවන ස්වාභාවික ක්‍රියාවලියක් පමණයි.මේ තත්වය හතළිස් ඇඳිරිය (Presbyopia) ලෙස හදුන්වන්න පුලුවන්.
2. පුද්ගලයෙකුට හතළිස් ඇඳිරිය වැළඳී ඇති බව හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද?
හතළිස් ඇඳිරිය යනු එකවරම ඇති වන්නක් නොව කාලයත් සමඟ ක්‍රමයෙන් වර්ධනය වන්නක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 න් පසු මෙය ඇරඹුණත්, ඇතැම් විට ඊට පෙර වුවත් මෙම ලක්ෂණ මතු වීමේ හැකියාව පවතිනවා. ඔබත් පහත දැක්වෙන අපහසුතාවලට මුහුණ දෙනවා නම් එය බොහෝ විට හතළිස් ඇඳිරියේ ලක්ෂණ විය හැකියි. විශේෂයෙන්ම කලින් සාමාන්‍ය පරිදි කියවූ පුවත්පත් හෝ දුරකථනය දැන් පැහැදිලිව බැලීමට නම් එය සාමාන්‍ය දුරට වඩා තරමක් ඈතින්, එනම් අත් දිග හැර තබා ගැනීමට සිදුවීම ප්‍රධාන ලක්ෂණයක්. මීට අමතරව සාමාන්‍ය දුරකින් තබාගෙන කියවීමේදී අකුරු බොඳ වී පෙනීම, මැහුම් ගෙතුම් වැනි සියුම් වැඩවල නිරත වන විට ඇස්වලට අධික වෙහෙසක් හෝ වේදනාවක් දැනීම, කියවීමෙන් පසු හෝ පරිගණක තිරයක් දෙස බලා සිටීමෙන් පසු ඇතිවන හිසරදය සහ අඳුරු ස්ථානවලදී කියවීමට වෙනදාට වඩා වැඩි ආලෝකයක් අවශ්‍ය වීම මෙහි රෝග ලක්ෂණ ලෙස පෙන්වා දිය හැකියි.
3. මෙම තත්ත්වය නිවැරදිව හඳුනාගෙන පරීක්ෂා කරගන්නේ කොහොමද?
ඉහත කී ලක්ෂණ ඔබටත් දැනෙනවා නම් ප්‍රමාද නොවී අක්ෂි වෛද්‍යවරයෙකු හෝ සුදුසුකම් ලත් දෘෂ්ටි විශේෂඥයෙකු (Optometrist) හමුවීම ඉතා වැදගත්. මෙය හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂාව ඉතා සරලයි. එහිදී ඔබේ ඇස්වල පෙනීම කොපමණ දුර්වල වී ඇත්දැයි බැලීමට (Refraction assessment) විවිධ කාච භාවිතා කරමින් අකුරු පුවරුවක් කියවීමට සලස්වනවා. මෙමගින් ඔබට ගැළපෙනම විසඳුම කුමක්දැයි වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබනවා.
4. හතළිස් ඇඳිරිය සඳහා පවතින ප්‍රතිකාර සහ විසඳුම් මොනවාද?
හතළිස් ඇඳිරිය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි වුවත්, ඔබේ පෙනීම යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉතා සාර්ථක ක්‍රම කිහිපයක් පවතිනවා. වඩාත් ප්‍රචලිත සහ සරලම ක්‍රමය වන්නේ කියවීමේ කණ්ණාඩි (Reading glasses) භාවිතයයි. දුර පෙනීමේ ගැටලුවක් නැති අයෙකුට ළඟ බැලීමට පමණක් මේවා භාවිතා කළ හැකියි. එසේම දුර සහ ළඟ යන දෙකම බැලීමට Bifocals හෝ Progressive කණ්ණාඩි භාවිතා කළ හැකි අතර, වර්තමානයේ වඩාත් ජනප්‍රිය වන්නේ රේඛා රහිත සුමට පෙනුමක් ලබා දෙන Progressive කාචයි. මීට අමතරව කණ්ණාඩි පැළඳීමට අකමැති අයට Contact lenses භාවිතා කළ හැකි වුවත් එය ලංකාවේ එතරම් සුලභ නැහැ. තවද, විශේෂඥ වෛද්‍ය උපදෙස් මත LASIK වැනි Laser ප්‍රතිකාර හෝ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් (Cataract surgery) පසු Intraocular Lenses ඇතුළත් කිරීම වැනි ස්ථිර විසඳුම් වෙතද යොමු වීමේ හැකියාව පවතිනවා.
5. වර්තමානයේ බහුලව නිර්දේශ කරන බහුනාභී (Progressive) කණ්ණාඩිවල ඇති විශේෂත්වය කුමක්ද?
සාම්ප්‍රදායික Bifocal කණ්ණාඩිවල මෙන් නොව Progressive කාචවල දුර සහ ළඟ පෙනීම වෙන් කරන රේඛාවක් (No Visible Lines) දකින්නට ලැබෙන්නේ නැහැ. මේ නිසා පෙනුම ඉතා ස්වාභාවික වන අතර ඔබ පැළඳ සිටින්නේ හතළිස් ඇඳිරියට අදාළ කණ්ණාඩියක් බව අනෙක් අයට වැටහෙන්නේ නැහැ. මෙහි තවත් වාසියක් වන්නේ දුර, මධ්‍යම (Intermediate) සහ ළඟ පෙනීම අතර ඉතා සුමට සංක්‍රමණයක් (Seamless Transition) පැවතීමයි. එකම කණ්ණාඩියෙන් රූප එකවර වෙනස් නොවී (No Image Jump) රූපවාහිනී බැලීමට, පරිගණකය භාවිතා කිරීමට මෙන්ම පොතක් කියවීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා.
6. අප අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා මොනවාද?
ඔබ දැනටමත් කණ්ණාඩි භාවිතා කරන අයෙකු නම් අවම වශයෙන් වසර දෙකකට වරක්වත් පරීක්ෂාවක් කරගැනීම සුදුසුයි. එදිනෙදා වැඩකටයුතුවලට පෙනීම බාධාවක් වන විට හෝ නිතර හිසරදය ඇති වන විට අක්ෂි පරීක්ෂාවක් කරගත යුතුමයි. නමුත් එකවරම පෙනීම නැති වී යාම, ඇස් ඉදිරිපිට කළු පැහැති තිත් (Black spots) පාවෙනවා සේ පෙනීම, ආලෝක ධාරා (Flashes of light) පෙනීම, රූප දෙකක් ලෙස පෙනීම (Double vision) හෝ ඇසේ තදබල වේදනාවක් ඇතිවීම වැනි ලක්ෂණ මතු වූ සැණින් වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. මෙහිදී ග්ලුකෝමා, ඇසේ සුද හෝ දියවැඩියාව නිසා ඇසට සිදුවන හානි පිළිබඳවත් පරීක්ෂා කිරීම අනිවාර්ය වෙනවා.
7.හතළිස් ඇදිරිය සම්බන්ධව ඇතැම් පිරිස් අනිසි බියක් දක්වනවා,මේ සම්බන්ධව ලබා දෙන උපදෙස කුමක්ද?
අවසාන වශයෙන් ලබා දෙන උපදෙස තමයි , හතළිස් ඇඳිරිය කියන්නේ බිය විය යුතු දෙයක් නොවේ, නිවැරදි උපදෙස් මත සුදුසු කණ්ණාඩි යුගලක් භාවිතා කරමින් ජය ගත හැකි සාමාන්‍ය තත්ත්වයක්.
©️ වෛද්‍ය දිලංක ලියනගේ