24/03/2026
"සැරදේ සැරදේ ආයුර්වේදේ
දිය දද බැඳ මුළු ලෝ
විකුම් පා දිය දද බැඳ මුළු ලෝ"
මෙම ගීතය බොහෝදෙනෙක් අහලා නැති වුණත් ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටින හැමකෙනෙක්ම වගේ අහලා ගයලා තියන ගීතයක්. මේ තමයි පණ්ඩිත් ගුණපාල සේනාධීර මැතිතුමන්ගේ පන්හිඳින් රචනා කළ අපේ ආයුර්වේද ගීතය.
මුලින්ම ආයුර්වේද ගීතයෙන් කොටසක් සඳහන් කළාට මම මේ සූදානම් වෙන්නෙ ඒ ගීතය ගැන කියන්න නම් නෙවෙයි.මේ ගීතයේ දක්වන "සැරදේ සැරදේ" කියා පතන ආයුර්වේදය කියන්නෙ මොකක්ද?
ආයුර්වේදය, කියන වචනය අහලා නැති දන්නෙ නැති කෙනෙක් අපිට හොයාගන්න අමාරුයි. හැබැයි කවදාවත් ආයුර්වේදය කියන්නෙ මොකක්ද කියලා ඔබ හිතල බලලා, හොයල බලලා තියනවද.... හන්දි කැක්කුමක් හරි කොන්ද කැක්කුමක් හරි ආවම ඒක නැතිකරගන්න ගාන තෙල් බෙහෙත් ටික විතරක් නෙවෙයි ආයුර්වේදය කියන්නෙ.. මේ ලෙඩේට මේ බෙහෙත කියලා උගන්වන වට්ටෝරු වෙදකමක් නෙවෙයි ආයුර්වේදය කියන්නෙ......
සරලවම කියනවා නම් ආයුර්වේදය කියන්නෙ ආයුෂ පිළිබඳ විද්‍යාව. එහෙම නැත්නම් ජීවත් වීමේ කලාව කියලා දෙන්නෙ ආයුර්වේදය මඟින්. ඒ කොහොමද එහෙම වෙන්නෙ?
ආයුර්වේදයේ මූලග්‍රන්ථයක් වන චරක සංහිතාවේ දක්වන ආකාරයට ආයුර්වේදය කියන්නෙ හිත ආයුෂ, අහිත ආයුෂ, සුඛ ආයුෂ හා දුක්ඛ ආයුෂ ආදී සියල්ලක්ම උගන්වන විද්‍යාව.... සරලවම කියනවා නම් ආයුෂ (ජීවිතය) හිත ආකාරයට හා සැපවත් ආකාරයට(අභ්‍යන්තර හා බාහිර දෙආකාරයෙන්ම) පවත්වා ගැනීමට කළයුතු දෑ මෙන්ම නොකළ යුතු දෑ මොනවාද, ආයුෂයේ ප්‍රමාණය තීරණය වීමට බලපාන සාධක ආදී ලෙස කලළයක් ලෙස පිළිසිඳ ගත් දා පටන් මරණය දක්වාම සියලුම දේ පිළිබඳව මැනවින් උගන්වන ශාස්ත්‍රය ආයුර්වේදයයි.
මේ ආයුර්වේදයේ ප්‍රයෝජන එහෙමත් නැත්නම් ප්‍රධාන පරමාර්ථ දෙකක් තියනවා.. ඒ තමයි "ස්වස්ථස්‍ය ස්වාස්ථ්‍ය සංරක්ෂණ" හෙවත් නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීම හා "ආතුරස්‍ය විකාර ප්‍රශමන"හෙවත් රෝගී පුද්ගලයාගේ රෝග සුව කිරීම.....ඔබ ආයුර්වේද ප්‍රතිකාර සඳහා රෝහලකට ගොස් තිබෙනවා නම් දැකලා ඇති සායන ගණනාවක් තියනව විවිධ නම් වලින්. එහෙනම් ආයුර්වේදය කියන්නෙ මම කලින් කිව්ව වගේම එක එක ලෙඩේට ඒ ඒ බෙහෙත කියල උගන්වන වට්ටෝරු වෙදකමක් නෙවේ... ආයුර්වේදය අංග අටකින් සමන්විතයි. ඒ අංග අට තමයි ශල්‍ය තන්ත්‍රය, ශාලාක්‍ය තන්ත්‍රය, කායචිකිත්සා, භූත විද්‍යා, කෞමාරභෘත්‍ය තන්ත්‍රය,අගද තන්ත්‍රය, රසායන තන්ත්‍රය හා වාජීකරණ තන්ත්‍රයයි.
මෙම අංග අට ගැන විස්තරාත්මකව අපි ඉදිරි දිනයකදී කතා කරමු...මම හිතනවා මේ හරහා ආයුර්වේදය කියන්නෙ මොකක්ද කියල පොඩි හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියල අවසන් වෙනකන්ම කියවපු ඔයාලට.....
එහෙනම් ආයෙත් දවසක හමුවෙනකන් ඔයාලා හැමෝටම
හිතායු !!!!!!!! සුඛායු!!!!!!!!! දීඝායු!!!!!!!!!!!