08/12/2025
- Appeal for Support
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයට අයත් පශු ජෛව ව්‍යාධිවේද දෙපාර්තමේන්තුවට අනුබද්ධව පිහිටා ඇති ජල ජීවී රෝග නිර්ණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය හෙවත් CAADDR, ශ්‍රී ලංකාවේ ජල ජීවී වගාවේ උන්නතිය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරයි.
2007 වර්ෂයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පශු වෛද්‍ය පීඨය හා ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් මගින් පිහිටුවන ලද මෙම විද්‍යාගාර සංකීර්ණය ශ්‍රී ලංකාවේ වගා කරන විසිතුරු මත්ස්‍යයන් සහ ආහාරයට ගන්නා මත්ස්‍යයන්, ඉස්සන් හා කකුළුවන් වැනි ජල ජීවීන්ට වැළඳෙන රෝග නිර්ණය කිරීම මෙන්ම එම රෝග හඳුනා ගැනීම සහ පාලනය කිරීම සම්බන්ධව පුහුණු වැඩමුළු පැවැත්වීම හා පර්යේෂණ පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධානතම ආයතනයකි.
ජල ජීවී වගාව ආශ්‍රිත නිෂ්පාදන වැඩි කර ගැනීමටත් ඒ හා ආශ්‍රිත අපනයන ආදායම වැඩි කර ගැනීමටත් මූලිකවම අවශ්‍ය වන ජල ජීවී රෝග නිර්ණය හා පාලනය සම්බන්ධව ජල ජීවී වගා ව්‍යවසායකයන් හට සේවය ලබාදීම අප ආයතනයෙන් සිදුවන ජාතික මෙහෙවරකි.
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් අපගේ දෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටා ඇති විද්‍යාගාර සියල්ලම ජලයෙන් යට වූයේ ඒවාහි තිබූ මිල අධික විද්‍යාගාර උපකරණ, ගෘහභාණ්ඩ සහ වසර ගණනාවක් පුරා ඉමහත් පරිශ්‍රමයක් යොදා උපයා ගත් සියලුම රසායනික ද්‍රව්‍ය සහ පරීක්ෂණ කට්ටල විනාශ කරමිනි. එමෙන්ම සංරක්ෂණය කොට පවත්වාගෙන යනු ලැබූ රෝග නිර්ණ හා පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය සංරක්ෂිත නියැදි මෙන්ම අධ්‍යන සහ පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය සාම්පල් නියැදි විනාශ වීම, මුදලින් තක්සේරු කළ නොහැකි අලාභහානි වේ.
අප ආයතනය මගින් විශ්ව විද්‍යාල සිසුන්ට සැලසෙන සේවය පශු වෛද්‍ය පීඨ සිසුන්ට පමණක් සීමා නොවේ. පශු වෛද්‍ය පීඨ සිසුන්ට ජල ජීවී විද්‍යාව හා ජල ජීවි සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ අධ්‍යයනය කටයුතු සිදු කිරීමට අමතරව CAADDR මගින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනෙකුත් පීඨ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාලවල සිසුන් හට පර්යේෂණ කටයුතු සහ සීමාවාසී පුහුණු සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබේ.
මීට අමතරව පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සඳහා අප විද්‍යාගාර සංකීර්ණය තුළ ඇති පහසුකම් භාවිතා කරනු ලැබේ.
එමෙන්ම අප ගොඩනැගිල්ල තුළ පශු ජෛව ව්‍යාධිවේද දෙපාර්තමේන්තුවට අයත් ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයට අදාළ විද්‍යාගාරද පිහිටා ඇති අතර එම විද්‍යාගාර උපකරණ වලට සිදුවූ බරපතල හානි හේතුවෙන් පශු වෛද්‍ය සිසුන්ට ක්ෂුද්‍ර ජීවී විද්‍යා අධ්‍යයන කටයුතු නොකඩවා සිදු කිරීමට අවශ්‍ය අවම පහසුකම් හෝ නොමැති තත්ත්වයකට මේ වන විට පත්ව ඇත.
මෙම අභියෝගාත්මක මොහොතේ අපට නැවත ගොඩනැගීමට සහ පෙර පරිදි සම්පූර්ණ සේවය නැවත ආරම්භ කිරීමට ඔබගේ වටිනා සහය අත්‍යවශ්‍ය වේ.
වසර ගණනාවක් තිස්සේ ගොඩනැගූ සියලු දේ එක් නිමේෂයකින් අහිමි වී ගිය මෙම අභියෝගාත්මක මොහොතේ වුවද අප සිදු කළ ජාතික මෙහෙවරට යළි උරදීමට අපි කැපවී සිටිමු.
අපගේ විද්‍යාගාර පහසුකම් යළි ගොඩනංවා ගැනීමටත් යථාවත් කර ගැනීමටත් එමඟින් පෙර ක්‍රියාකාරීත්වය නැවත ස්ථාපිත කිරීමටත් ඔබගේ වටිනා සහය අපි අපේක්ෂා කර සිටිමු.
විමසීම්:
✉️ [email protected]
📞 0812395715
ඔබගේ වටිනා පරිත්‍යාග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පහත ගිණුමට යොමු කළ හැකිය.
Account number: 057 -1001-5133-8031
Account name: Bursar- University of Peradeniya
Swift Code – PSBKLKLX
Bank Name – People’s Bank – Peradeniya Branch
Bank Code – 7135
Please Mention with the Transaction – “Flood Relief Donation”
CAADDR නැවත ගොඩනැගීම සඳහා ඔබ පරිත්‍යාගයක් සිදු කරන්නේ නම්, කරුණාකර ගනුදෙනු පත්‍රිකාව (Transaction Slip) පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන්න:
[email protected]
🎙️ Voiced By: Thayoshi Pupulawatte