22/08/2026
උදෑසන පළමු පියවරේදීම විලුඹ රිදෙනවාද? 🦶 | Plantar Fasciitis ගැන දැනගනිමු
උදෑසන නින්දෙන් අවදි වී ඇඳෙන් බැස පළමු පියවර කිහිපය තබන විට විලුඹ හෝ යටි පතුලේ තද වේදනාවක් දැනෙනවාද? ටික වේලාවක් ඇවිදීමෙන් පසුව එම වේදනාව අඩු වෙනවාද? එසේ නම් ඔබ අත්විඳින්නේ Plantar Fasciitis ලෙස හැඳින්වෙන යටි පතුල ආශ්‍රිත ගැටලුවක් විය හැකියි.
Plantar Fasciitis සඳහා සිංහලෙන් පාදක කවලිකා ප්‍රදාහය යන නම භාවිතා කරනවා. අපගේ පාදයේ විලුඹේ සිට ඇඟිලි දෙසට දිවෙන, පාදයේ වක්‍රය පවත්වා ගැනීමට උපකාරී වන ශක්තිමත් තන්තුමය පටකයක් Plantar Fascia ලෙස හඳුන්වනවා. දිනපතා වැඩිපුර ඇවිදීම, දිගු වේලාවක් සිටගෙන සිටීම, දිවීම හෝ පාදයට අධික පීඩනයක් ඇතිවීම වැනි හේතු නිසා මෙම පටකයට නැවත නැවත ආතතිය ඇතිවීමෙන් වේදනාව සහ ප්‍රදාහය ඇති විය හැකියි.
මෙම තත්ත්වය ඇතිවීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. ශරීරයේ බර වැඩිවීම, කෙටි කාලයක් තුළ බර වැඩිවීම, පාදයේ වක්‍රය ඉතා අඩු වීම හෙවත් Flat Foot, පාදයේ වක්‍රය ඉතා ඉහළ වීම (High Arch) සහ පාදය ඇතුළට අධික ලෙස පෙරළීම (Excessive Pronation) ඒ අතර ප්‍රධානයි. එමෙන්ම පාදයට නිසි ආධාරයක් ලබා නොදෙන හෝ සුදුසු නොවන පාවහන් පැළඳීමද මෙයට හේතුවක් විය හැකියි.
දිගු වේලාවක් සිටගෙන සිටීම, දුර දිවීම, තද මතුපිටක නිතර ඇවිදීම හෝ දිවීම සහ සමතලා නොවන භූමියක වැඩිපුර ඇවිදීම නිසාද පාදයට ඇතිවන පීඩනය වැඩි විය හැකියි. වයස වැඩිවීමත් සමඟ පටකවල නම්‍යශීලී බව සහ ශක්තියේ සිදුවන වෙනස්කම්ද මෙවැනි වේදනාවන්ට බලපාන්න පුළුවන්.
මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද?
විලුඹ ආශ්‍රිතව තියුණු හෝ මඳ වේදනාවක් ඇතිවීම මෙහි ප්‍රධාන ලක්ෂණයක්. විශේෂයෙන්ම උදෑසන අවදි වූ පසු පළමු පියවර කිහිපය තැබීමේදී දැඩි වේදනාවක් දැනිය හැකියි. දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් පසු නැවත ඇවිදින විටද වේදනාව ඇතිවිය හැකියි.
බොහෝ දෙනෙකුට පියවර කිහිපයක් තැබීමෙන් පසු වේදනාව සහ පාදයේ තද ගතිය තරමක් අඩු වන බව දැනෙන්නට පුළුවන්. නමුත් වැඩි වේලාවක් ඇවිදීම හෝ සිටගෙන සිටීමෙන් පසුව නැවත වේදනාව වැඩි විය හැකියි. සමහර අවස්ථාවලදී විලුඹ හෝ යටි පතුල ආශ්‍රිතව ඉදිමීමක් සහ ස්පර්ශ කිරීමේදී සංවේදී බවක්ද ඇති විය හැකියි.
ප්‍රතිකාර කිරීමේදී කළ හැක්කේ කුමක්ද?
මුලින්ම නිවැරදි හේතුව හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හෝ සුදුසු සෞඛ්‍ය වෘත්තීයවේදියෙකු හමුවීම වැදගත්. පාදයට හොඳ ආධාරයක් ලබාදෙන, නිවැරදි ප්‍රමාණයේ සහ සුදුසු පාවහන් භාවිතා කිරීම උපකාරී විය හැකියි.
අධික ලෙස පාද වෙහෙසට පත් කරන ක්‍රියාකාරකම් තාවකාලිකව සීමා කිරීම, තද මතුපිටවල දිගු වේලාවක් ඇවිදීමෙන් වැළකීම සහ වෛද්‍ය උපදෙස් මත stretching exercises සිදු කිරීම ප්‍රයෝජනවත් විය හැකියි. ඇතැම් පුද්ගලයන්ට වෛද්‍ය උපදෙස් අනුව heel cups හෝ shoe inserts භාවිතා කිරීමද උපකාරී වේ. වේදනාව ඇති ප්‍රදේශයට සුදුසු ආකාරයෙන් සීතල ප්‍රතිකාර ලබාදීම සහ ශරීර බර අධික නම් එය ක්‍රමයෙන් පාලනය කර ගැනීමද වැදගත්.
බොහෝ අවස්ථාවලදී නිසි ප්‍රතිකාර හා ජීවන රටාවේ වෙනස්කම් සමඟ මෙම තත්ත්වය ක්‍රමයෙන් සුව විය හැකියි. නමුත් සුව වීමට සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා කාලයක් ගත විය හැකි අතර, ඇතැම් පුද්ගලයන්ට ඊටත් වැඩි කාලයක් අවශ්‍ය විය හැකියි. සාමාන්‍ය ප්‍රතිකාරවලින් ප්‍රතිඵල නොලැබෙන දුර්ලභ අවස්ථාවලදී විශේෂිත ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම පිළිබඳව වෛද්‍යවරයා සලකා බැලිය හැකියි.
යටිපතුලේ වේදනාව දිගින් දිගටම පවතිනවා නම් එය නොසලකා හරින්න එපා. නිවැරදි හේතුව හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර ලබාගැනීම වඩාත් වැදගත්. 🦶❤️
📌 මෙවැනි සෞඛ්‍ය තොරතුරු සඳහා SRI LANKAN NURSE පේජ් එක Follow කරන්න.
📲 වැදගත් තොරතුරු අවශ්‍ය කෙනෙකුටත් දැනගන්න Share කරන්න.
සටහන – SRI LANKAN NURSE