22/07/2026
⭕️සයිටස් ඉන්වර්සස් ටෝටාලිස් (Situs Inversus Totalis)⭕️
මෙය ශරීරයේ අභ්‍යන්තර අවයව සියල්ලම සාමාන්‍යයෙන් පිහිටිය යුතු ස්ථානයට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටා ඇති ඉතා දුර්ලභ උපත්ජනිත (Congenital) තත්ත්වයකි. උදාහරණයක් ලෙස, සාමාන්‍යයෙන් වම් පස පිහිටන හෘදය දකුණු පස පිහිටන අතර, අක්මාව වම් පසත්, ප්ලීහාව දකුණු පසත් පිහිටයි. මෙම තත්ත්වය ඇතිවන්නේ ගර්භයේ කලල වර්ධනය වන මුල් අවධියේදී ශරීරයේ දකුණු-වම් අක්ෂය (Right-Left Axis) නිවැරදිව වර්ධනය නොවීම හේතුවෙනි.
මෙය ඉතා දුර්ලභ තත්ත්වයක් වන අතර, පුද්ගලයන් 10,000කට එක් අයෙකුහේ දකින්නට ලැබේ. බොහෝ අවස්ථාවලදී මෙම පුද්ගලයන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙනෙන අතර, සාමාන්‍ය පුද්ගලයන් මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරයි. එබැවින් බොහෝ දෙනෙකු මෙම තත්ත්වය පිළිබඳ දැනගන්නේ වෙනත් රෝගයක් සඳහා X-ray, Ultrasound, CT Scan හෝ MRI පරීක්ෂණයක් සිදු කරන අවස්ථාවකදී අහම්බෙන්ය.
කෙසේ වෙතත්, සමහර රෝගීන්ට Congenital Heart Diseases හෝ Kartagener Syndrome වැනි තත්ත්ව සමඟ මෙය සම්බන්ධ විය හැකිය. එවැනි අවස්ථාවලදී
1. නිතර ශ්වසන මාර්ග ආසාදන,
2. දිගුකාලීන කැස්ස,
3. සයිනසයිටිස් සහ පුරුෂයන්ගේ වඳභාවය
වැනි ගැටලු ද ඇතිවිය හැකිය.
මෙම තත්ත්වය හඳුනාගැනීම සඳහා,
1. පපුවේ X-ray පරීක්ෂණය,
2. උදරයේ Ultrasound පරීක්ෂණය,
3. CT Scan,
4. MRI
5. Echocardiography
වැනි පරීක්ෂණ භාවිතා කරයි. නිවැරදි රෝග විනිශ්චය ඉතා වැදගත් වන්නේ ශල්‍යකර්ම, හදිසි ප්‍රතිකාර සහ වෙනත් වෛද්‍ය ක්‍රියාමාර්ග වලදී අවයවවල පිහිටීම පිළිබඳ නිවැරදි දැනුම අවශ්‍ය වන බැවිනි.
මේ සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ, මන්ද එය රෝගයක් නොව ශරීර ව්‍යුහයේ වෙනස් පිහිටීමක් පමණි. කෙසේ වෙතත්, ඒ සමඟ ඇතිවන වෙනත් රෝග හෝ සංකූලතා සදහා ප්‍රතිකාර ලබාදිය යුතුය. නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන, තමන්ට මෙම තත්ත්වය ඇති බව සෞඛ්‍ය වාර්තාවල සඳහන් කර තැබීම ඉතා වැදගත් වේ.
මෙය ජීවිතයට බොහෝවිට බාධාවක් නොවේ. බොහෝ පුද්ගලයන් සාමාන්‍ය ආයු කාලයක් සහ ජීවන රටාවක් ගත කරන අතර, නිවැරදි රෝග විනිශ්චය සහ අවශ්‍ය විට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මගින් කිසිදු ගැටලුවකින් තොරව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකිය.
පසුගිය සදුදා දින අප ශික්ෂණ රෝහලේ OPD හි සේවය කරන පශ්චාත් උපාධි අපේක්ෂක වෛද්‍ය Kusal ලගට මෙම රෝගියා පැමිණි අවස්ථාවෙදී ඔහු විසින් මෙය අධ්‍යනය සදහා මා වෙත යොමු කරන ලදී. රෝගියාගේ පෞද්ගලිකත්වය හේතුවෙන් ඇයගේ පිංතූර පළ නොකර මෙය ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයෙකුට ඉතා කලාතුරකින් දකින්නට ලැබෙම දෙයක් හේතුවෙන් මේ පිළිබඳව ලිපියක් ලිව්වෙමි!
මම,
වෛද්‍ය Dr. Bhanuka Hettiarachchi