17/08/2026
පුද්ගලානුබද්ධ ප්‍රවේශය හා ත්‍රිදෝෂ සංකල්පය
ආයුර්වේදයේ සුවිශේෂත්වය වන්නේ එය සෑම පුද්ගලයෙකු ම අද්විතීය ලෙස සලකන බවයි. පුද්ගලානුබද්ධ ප්‍රවේශය (Personalized Approach) යනු ආයුර්වේදයේ ප්‍රධාන මූලධර්මයකි.
පුද්ගලානුබද්ධ ප්‍රවේශය යනු ශරීර ව්‍යුහය, මානසික ස්වභාවය, ජීවන රටාව, වයස, කාලගුණය සහ වර්තමාන සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් ඔබට විශේෂිත ප්‍රතිකාර සැලැස්මක් සකස් කිරීමයි.
පුද්ගලානුබද්ධ ප්‍රවේශයේ අංග පිළිබඳව හදුනාගැනීම වැදගත් වේ.
ප්‍රකෘතිය හඳුනා ගැනීම -ආයුර්වේද වෛද්‍යවරයා පළමුව ඔබේ ප්‍රකෘතිය හඳුනා ගනී. ඔබ වාත ප්‍රධාන, පිත්ත ප්‍රධාන, කඵ ප්‍රධාන හෝ මිශ්‍ර ප්‍රකෘතියක් ද යන්න තීරණය වේ.
විකෘතිය හඳුනා ගැනීම -වර්තමාන දෝෂ අසමතුලිතතාවය (විකෘතිය) හඳුනා ගැනෙයි. මෙය රෝග ලක්ෂණ හා හේතු අධ්‍යයනය කිරීමෙන් සිදු කෙරේ.
ආහාර නිර්දේශ -ඔබේ ප්‍රකෘතිය, වයස, කාලගුණය, ඍතුව සහ රෝග තත්වය අනුව විශේෂිත ආහාර නිර්දේශ කෙරේ. උදාහරණයක් ලෙස, වාත ප්‍රධාන පුද්ගලයෙකුට උණුසුම් තෙල් සහිත ආහාර යෝග්‍ය වන අතර, පිත්ත ප්‍රධාන පුද්ගලයෙකුට සිසිල් ආහාර සුදුසුය.
ඖෂධ ප්‍රතිකාර -එක් රෝගයකට පවා විවිධ පුද්ගලයන්ට විවිධ ඖෂධ නියම කළ හැකිය. ඖෂධ මාත්‍රාව, භාවිත කාලය සහ අනුපානය පුද්ගලයා අනුව තීරණය වේ.
ජීවන රටාව සලකා බැලීම -ආයුර්වේදය ඔබේ දිනචර්යාව , ඍතු චර්යාව සහ රාත්‍රී චර්යාව ඔබේ ප්‍රකෘතිය අනුව සකස් කිරීමට උපදෙස් දෙයි.
යෝග හා මෙඩිටේෂන්- පුද්ගලයාගේ ශරීර හා මානසික ස්වභාවය අනුව විශේෂිත යෝග ආසන හා ප්‍රාණායාම ක්‍රම නිර්දේශ කෙරේ.
ආයුර්වේදයට අනුව පුද්ගලානුබද්ධ ප්‍රවේශය ත්‍රිදෝෂ සංකල්පය මත පදනම් වේ.
ආයුර්වේදය පිළිගන්නවා සෑම පුද්ගලයෙකු ම වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂ වලින් සමන්විත වී ඇති බව .මෙම දෝෂ වල සමතුලිතතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඔබේ ප්‍රකෘතිය අනුව ඔබේ ශරීරය, මනස සහ හැසිරීම් රටා තීරණය වේ.ඒ අනුව සෑම පුද්ගලයෙකු තුළ ම වාත, පිත්ත, කඵ යන මූලික ජීව ශක්ති තුනක් ක්‍රියාත්මක වේ. මේවා පඤ්ච මහා භූත (පෘථිවි, ජලය, ගිනි, වායු, ආකාශ) වලින් සෑදී ඇත. මෙම දෝෂ වල සමතුලිතතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර, එය ඔබේ ප්‍රකෘතිය (ස්වභාවික ශරීර ව්‍යුහය) වේ.
වාත දෝෂය මගින් චලනය, සන්නිවේදනය සහ ගමනාගමනය පාලනය කරයි. මෙය වායු සහ ආකාශ මහා භූත වලින් සමන්විතය.
වාත දෝෂය මගින් සිදු කරන ශාරීරික කාර්යයන් ලෙස ශ්වසනය හා හෘද ස්පන්දනය ,ස්නායු සන්නිවේදනය ,මාංශ පේශි චලනය ,ආහාර ජීර්ණය හා බැහැර කිරීම ,රුධිර සංසරණය ආදිය හැදින්විය හැක.
වාතය ප්‍රධාන පුද්ගලයන්ගේ ලක්ෂණ ලෙස සිහින් ශරීර ව්‍යුහය ,වියළි සම සහ හිසකෙස් ,සීතල අත් පා ,වේගවත් චින්තනය හා නිර්මාණශීලීත්වය ,අස්ථිර මනස ,අක්‍රමවත් ආහාර රටාව ,කථා බහුල බව ආදිය වේ.
පිත්ත දෝෂය මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා, ජීර්ණය, තාපය සහ බුද්ධිය පාලනය කරයි. ගිනි සහ ජල මහා භූත වලින් සමන්විතය.
ශාරීරික කාර්යයන් ලෙස ආහාර ජීර්ණය සහ පරිවෘත්තීය ක්‍රියා ,ශරීර උෂ්ණත්වය පාලනය ,දර්ශනය ,සමෙහි වර්ණය ,බුද්ධිය හා තීරණ ගැනීම ආදිය සිදු කරයි.
මධ්‍යම ශරීර ව්‍යුහය ,උණුසුම් ශරීරය ,ප්‍රබල ආහාර රුචිය ,හොඳ ජීර්ණ ශක්තිය ,තියුණු බුද්ධිය ,නායකත්ව ගුණාංග ,ඉක්මන් කෝපය ,පැහැපත් සමක් ආදිය පිත්ත ප්‍රධාන පුද්ගලයන්ගේ ලක්ෂණ වේ
කඵ දෝෂය ශරීරයේ ව්‍යුහය, ස්ථායිතාවය, ශක්තිය සහ ප්‍රතිශක්තිය පාලනය කරයි. ජල සහ පෘථිවි මහා භූත වලින් සමන්විතය.
එම දෝෂය මගින් ද විවිධාකාර ශාරීරික කාර්යයන් සිදු කරයි. ශරීර ව්‍යුහය හා ශක්තිය ,සන්ධි ලිහිසි කිරීම ,ප්‍රතිශක්තිය ,සමෙහි තෙතමනය ,මතකය හා ස්ථායී මනස ,ආදරය හා දයාව
කඵ ප්‍රධාන පුද්ගලයන්ගේ ලක්ෂණ ලෙස ශක්තිමත්, බර ශරීර ව්‍යුහය ,මෘදු, තෙතමනය සහිත සම ,මන්දගාමී ජීර්ණය ,හොඳ මතකය ,ඉවසිලිවන්ත, සන්සුන් ස්වභාවය ,මන්දගාමී චලනය ,ශක්තිමත් ප්‍රතිශක්තිය ආදිය වේ.
නිරෝගී පැවැත්ම යනු මෙම තුන් දෝෂ ඔබේ ප්‍රකෘතිය අනුව සමතුලිතව පැවතීමයි.මෙම දෝෂ සමතුලිත කීරීම සදහා ඉහත සදහන් කළ ඍතුව අනුව ආහාර රටාව ,යෝග්‍ය ව්‍යායාම ,මානසික සමතුලිතතාවය ,ආයුර්වේද ඖෂධ ,දිනචර්යාව පිළිපැදීම සිදු කළ යුතුය.
සෑම පුද්ගලයෙකු තුළ ම මෙම තුන් දෝෂ තිබේ. ඒවායේ සමතුලිතතාවය තමයි වෙනස් වන්නේ. ඔබේ දෝෂ ව්‍යුහය දැන ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක පදනම වේ.
ඔබේ ප්‍රකෘතිය හඳුනා ගෙන, සමතුලිත ජීවිතයක් ගත කරන්න!