26/08/2026
කෙසේ වෙතත්, අධික ව්‍යායාම, දැඩි විජලනය, ඇතැම් ඖෂධ හෝ අතිරේක අනිසි ලෙස භාවිත කිරීම වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැක.
01 GYM (කායවර්ධන මධ්‍යස්ථාන) යන අයට වකුගඩු රෝග ඇතිවීමේ අවදානමක් තිබේද?
● සාමාන්‍ය මට්ටමින් නිවැරදිව GYM යාමෙන් වකුගඩු රෝග ඇතිවීම අනිවාර්යයෙන් සිදු නොවේ.
නමුත්,
● වෛද්‍ය හෝ පෝෂණවේදී උපදෙස් නොමැතිව ප්‍රෝටීන් අතිරේක අධික ලෙස භාවිත කිරීම
● ප්‍රමාණවත් ලෙස දියර ලබා නොගැනීම හේතුවෙන් දැඩි විජලනය ඇතිවීම
● වෛද්‍ය උපදෙස් නොමැතිව anabolic steroids වැනි ද්‍රව්‍ය භාවිත කිරීම
● තම ශරීරයට ඔරොත්තු නොදෙන ආකාරයෙන් අධික ව්‍යායාම කිරීම
වැනි කරුණු වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කළ හැක.
02 GYM යාමෙන් වකුගඩු හානි සිදුවේ යැයි මතයක් පැතිරීමට ප්‍රධාන හේතු මොනවාද?
● ප්‍රෝටීන් සහ Creatine අතිරේක අනිසි ලෙස භාවිත කිරීම
• වෛද්‍ය හෝ පෝෂණවේදී උපදෙස් නොමැතිව ප්‍රෝටීන් පවුඩර් (Whey Protein) හෝ Creatine වැනි අතිරේක අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස භාවිත කිරීම සුදුසු නොවේ.
• විශේෂයෙන්ම දැනටමත් වකුගඩු රෝගයක් ඇති පුද්ගලයන් supplements භාවිත කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
● Anabolic Steroids
• ශරීරයේ මාංශ පේශි ඉක්මනින් වර්ධනය කරගැනීම සඳහා වෛද්‍ය උපදෙස් නොමැතිව anabolic steroids භාවිත කිරීමෙන් වකුගඩු ඇතුළු ශරීරයේ විවිධ අවයවවලට හානි සිදුවිය හැක.
● ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම (Dehydration)
• ව්‍යායාම කිරීමේදී අධික ලෙස දහඩිය දැමීමෙන් ශරීරයේ ජලය අඩුවිය හැක.
• දැඩි විජලනය වකුගඩු වෙත සිදුවන රුධිර සැපයුම අඩු කර වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැක.
● වේදනා නාශක පෙති භාවිතය (NSAIDs)
• Ibuprofen සහ Mefenamic Acid වැනි NSAID වේදනා නාශක නිතර හෝ වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිත කිරීම, විශේෂයෙන්ම වකුගඩු රෝගීන්ට, වකුගඩු ක්‍රියාකාරිත්වයට හානි කළ හැක.
● අධික ලෙස වෙහෙස වීම (Rhabdomyolysis)
• තම ශරීරයට ඔරොත්තු නොදෙන ලෙස එකවරම ඉතා දැඩි ව්‍යායාම හෝ බර එසවීම සිදු කිරීමෙන් මාංශ පේශි සෛල දැඩි ලෙස හානි විය හැක.
• එහිදී මාංශ පේශිවල ඇති ඇතැම් ද්‍රව්‍ය රුධිරයට විශාල වශයෙන් මුදාහැරීම හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරිත්වය හදිසියේ අඩාල විය හැක.
03 දැනටමත් ඔබ වකුගඩු රෝගියෙකු නම්, ඔබට GYM යාම සුදුසුද?
● ඔව් , බොහෝ වකුගඩු රෝගීන්ට තම රෝග තත්ත්වයට සහ ශාරීරික හැකියාවට ගැළපෙන ආකාරයෙන් ව්‍යායාම කිරීම ප්‍රයෝජනවත් විය හැක,
නමුත් ව්‍යායාමයේ වර්ගය සහ තීව්‍රතාවය ඔබගේ වකුගඩු රෝගයේ තත්ත්වය, ඩයලයිසිස් ප්‍රතිකාර ලබන්නේද යන්න සහ සමස්ත සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනස් විය හැක.
එබැවින් ව්‍යායාම ආරම්භ කිරීමට හෝ GYM යාමට පෙර ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්ය.
● කළ හැකි ව්‍යායාම
• ඇවිදීම,
• ස්ථාවර බයිසිකල් පැදීම,
• සුදුසු මට්ටමේ Cardio ව්‍යායාම,
• වෛද්‍ය හෝ ව්‍යායාම විශේෂඥ උපදෙස් මත සුදුසු මට්ටමේ බර පුහුණු ව්‍යායාම
වැනි ව්‍යායාම තෝරාගත හැක.
● අධික බර එසවීමෙන් වළකින්න
• අධික බර එසවීමේදී රුධිර පීඩනය තාවකාලිකව ඉහළ යා හැකි අතර, ඇතැම් වකුගඩු රෝගීන්ට එය සුදුසු නොවිය හැක.
• විශේෂයෙන්ම ඩයලයිසිස් සඳහා fistula එකක් ඇති පුද්ගලයන් එම අතට අධික පීඩනයක් හෝ බරක් යෙදීමෙන් වැළකී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
● Supplements භාවිතය
• Protein powder, Creatine හෝ Pre-workout වැනි supplements වෛද්‍ය හෝ පෝෂණවේදී උපදෙස් නොමැතිව භාවිත නොකරන්න.
• විශේෂයෙන්ම වකුගඩු රෝගීන් supplements භාවිත කිරීමට පෙර තම වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුය.
● ජලය පානය කිරීම
• වකුගඩු රෝගයේ මට්ටම අනුව ඇතැම් රෝගීන්ට දිනකට ලබාගත යුතු දියර ප්‍රමාණය සීමා කර තිබිය හැක.
• එබැවින් ව්‍යායාම කිරීමේදී කොපමණ ජලය පානය කළ යුතුද යන්න තම වෛද්‍යවරයාගෙන් විමසා දැනගන්න.
04 GYM යාමෙන් වකුගඩු රෝගීන්ට ඇති වාසි මොනවාද?
● රුධිර පීඩනය පාලනයට උපකාර වීම
• නිතිපතා සහ සුදුසු මට්ටමින් ව්‍යායාම කිරීම රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී විය හැක.
● රුධිර සීනි මට්ටම පාලනයට උපකාර වීම
• නිතිපතා ව්‍යායාම කිරීම ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට සහ රුධිර සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී විය හැක
● හෘද රෝග අවදානම අඩු කිරීමට උපකාර වීම
• වකුගඩු රෝගීන්ට හෘද හා රුධිර වාහිනී ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම වැඩි විය හැක.
• නිතිපතා සුදුසු මට්ටමේ Cardio ව්‍යායාම කිරීම හෘද සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ.
● මාංශ පේශි ශක්තිය පවත්වා ගැනීම
• වකුගඩු රෝගය සමඟ ඇතැම් පුද්ගලයන්ගේ මාංශ පේශි ශක්තිය අඩු විය හැක.
• සුදුසු මට්ටමේ ශාරීරික ව්‍යායාම මඟින් මාංශ පේශි ශක්තිය සහ ශාරීරික ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට උපකාරී විය හැක.
● ක්‍රියාශීලී බව සහ ශක්තිය පවත්වා ගැනීම
• නිතිපතා ව්‍යායාම කිරීම ශාරීරික ක්‍රියාකාරිත්වය සහ දෛනික කටයුතු සඳහා අවශ්‍ය ශක්තිය පවත්වා ගැනීමට උපකාරී විය හැක.
05 සාමාන්‍ය අයෙකුට වහාම ව්‍යායාම නැවැත්විය යුතු අවස්ථා මොනවාද?
● මාංශ පේශිවල ඇතිවන අසාමාන්‍ය ලෙස දැඩි වේදනාව හෝ කැක්කුම
● කලන්තය, කරකැවිල්ල හෝ සිහිය නැති වීමට ආසන්න බවක් දැනීම
● පපුවේ වේදනාව හෝ අසාමාන්‍ය හෘද ගැස්ම
● අධික ලෙස මහන්සි දැනීම
● හුස්ම ගැනීමට අපහසු වීම
මෙවැනි ලක්ෂණ ඇති වුවහොත් ව්‍යායාම නවත්වා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.
06 ඔබ GYM යන වකුගඩු රෝගියෙකු නම් මේ විශේෂ උපදෙස් ඔබට
● ඔබ ඩයලයිසිස් සඳහා අතේ Fistula එකක් කර ඇත්නම්,
එම අතට අධික බරක් හෝ පීඩනයක් යෙදෙන ව්‍යායාම සිදු නොකරන්න. ඔබට සුදුසු ව්‍යායාම පිළිබඳව ඔබගේ Dialysis කණ්ඩායමෙන් උපදෙස් ලබාගන්න.
● ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන අයෙක් නම්,
Dialysis ප්‍රතිකාරය අවසන් කළ වහාම දැඩි ව්‍යායාම කිරීමෙන් වළකින්න. Dialysis පසු රුධිර පීඩනය අඩු වීම හේතුවෙන් කරකැවිල්ල හෝ දුර්වල බවක් ඇති විය හැක.
● Dialysis රෝගීන්ට රුධිරය කැටි ගැසීම වැළැක්වීම සඳහා ඖෂධ ලබාදිය හැකි බැවින්,
GYM එකේදී උපකරණවල වැදී තුවාල සිදු නොවන ලෙස සැලකිලිමත් වන්න.
● අධික උණුසුම ඇති වේලාවන්හිදී හෝ ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති ස්ථානවල දැඩි ව්‍යායාම කිරීමෙන් වළකින්න.
● අධික ලෙස දහඩිය දැමීමෙන් ශරීරයේ ජලය සහ ලවණ අඩුවිය හැක.
විශේෂයෙන්ම වකුගඩු රෝගීන්ට ජලය සහ electrolytes ලබාගත යුතු ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි බැවින්, වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.
වැදගත්:
වකුගඩු රෝගයක් ඇති පුද්ගලයෙකු GYM හෝ වෙනත් දැඩි ව්‍යායාම ආරම්භ කිරීමට පෙර තම වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්ය,
ව්‍යායාමයේ තීව්‍රතාවය, ජලය පානය කිරීම සහ supplements භාවිතය පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනස් විය හැක.