31/07/2026
නිවන් මඟ විවර කරන මහා පුරුෂ විතර්ක,
අප්‍රමාණ වු සංසාර භවයන්හී පීඩාවට පත්වූ සත්ත්වයන් හට දුක නිමා කළ හැකි වූ මඟ පෙන්වා වදාළ භාග්‍යවතුන් වහන්සේ ඒ ශාන්ත වූ ප්‍රනීත වූ අවේදයිත වූ සුන්දර නිර්වාණ සුවය දේශනා කළ සේක. නිර්වාණ ද්වාරය විවර කළහැකි වන්නේ අනුපූර්ව වු ප්‍රතිපදා මාර්ඟය තුළිණි. ප්‍රතිපදා මාර්ඟය තුළදී මේ ධර්මය කිනම් වු අයෙක් උදේසාද යන පැනය විමසමින් කටයුතු කිරීම ගුණාංග පූර්ණයට උපකාර වේ. ඒ තුළින් සිය ප්‍රතිපදා මාර්ඟ සවිමත් භාවයට පත් කර ගත හැකි අතර නිර්වාණාව අවබෝධයට ප්‍රඥාව ද වැඩේ. සැබැවින්ම මේ ධර්මය කාටද යන පැනය අනුරුද්ධ මහරහතන් වහනසේ විසින් ධර්මාවබෝධයට පෙර විමසා ඇති අතර ඒ සදහා සොදුරු පිළිතුරු ද උන්වහන්සේට ලැබුණු වග දේශනාව තුළ දැක්වේ.
අනුරුද්ධ කුමරු පැවිදිව මුල් වස් කාලය තුළම දහසක් ලෝක ධාතුන් දැකිය හැකි දිවැස් නුවණ ලබාගැනීමට සමත්විය. මෙසේ දිවැස් නුවණ ලැබගත් අනුරුද්ධ තෙරුන් වහන්සේ දිනක් සැරියුත් මහරහතන් වහන්සේ වෙත එළඹ "ස්වාමීනී සාරිපුත්තයන් වහන්ස, මා මිනිස් ඇස ඉක්මවා දහසක් ලෝකධාතූන් බැලිය හැකි දිවැස් ලබා ඇත. මා සහියෙන් යුතුව දැඩිසේ වීර්ය කරනු නමුත් මගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නැතැයි" කීහ. එවිට සාරිපුත්ත මහරහතන් වහන්සේ "ඇවැත්නි අනුරුද්ධ, මම මිනිස් ඇස ඉක්මවා දිවැසින් දහසක් ලෝකධාතුව දකිමි" යන මේ ඔබගේ හැඟීම මාන සහගත වූවකි. "මා විසින් වීර්ය පටන්ගන්නා ලදී, සිහිය පිහිටුවාගන්නා ලදී, මගේ හිත සමාහිත විය" යන මේ ඔබගේ හැඟුම උද්දච්ච සහගතය. "මෙසේ තිබියදීත් මගේ සිත කෙලෙසුන්ගෙන් නොමිදේය" යන ඔබගේ හැඟුම කුක්කුච්චය ගැබ්ව පවතී. එය නුසුදුසු බවත් අවවාද කොට කමටහන් දුන් සේක. ඉන්පසු චේතිය දනව්වට වැඩි උන්වහන්සේට මහා පුරුෂ විතර්ක හතක් සිහිවූ අතර ඒ ස්ථානයට භාග්‍යවතුන් වහන්සේ පෙනීසිටිමින් අටවන කරුණ වදාළ සේක. යමෙක් සතර මග ඵල නිවන යන නව ලොව්තුරා දහම සිය සතන් හී උපදවා ගන්නට කෙසේ විය යුතුද යන කරුණ මෙහිදී පැහැදිලිවේ.
01.අල්පේච්ඡතාව (අප්පිච්චස්සායං ධම්මෝ)
ධර්මය අල්පේච්ඡතාවයෙන් යුතු වූ පුද්ගලයාටය. මහෙච්ඡතාව ඇති පුද්ගලයාට නොවේ. අඩු ආසාවන් සහිත බව හා අධික ලෙස නොඇලීම යන අර්ථ විද්‍යමාන කරන අල්පේච්ඡතාව කරුණු සතරක් තුළ දක්වයි.
●. ප්‍රත්‍ය අල්පේච්ඡතාවය
●. අධිගම අල්පේච්ඡතාවය
●. පරියප්ති අල්පේච්ඡතාවය
●. ධූතාංග අල්පේච්ඡතාවය
දිවිගමනේ පැවැත්ම උදෙසා වැඩිපුර ලැබෙන සිව්පස ආදිය ලබන විට මදක් ගැනීම, මදක් දෙනවිට එයිනුත් මදක් ගැනීම , ප්‍රත්‍ය පහසුකම් ගොඩගසා ගැනුම ප්‍රතිපත්ති පූරණය පිණිස මහත්වූ බාධාවන් යන වග වටහාගැනීම ප්‍රත්‍ය අල්පේච්ඡතාවයේ ස්වභාවවේ. ඔහු දිවිගමනේ පැවැත්මට ප්‍රත්‍ය ලබනවා මිස ඉන් වැඩිපුර කිසිවක් බලාපොරොත්තු නොවේ. අධිගම අල්පේච්ඡතාවයේ ස්වභාවය නම් සිය සන්තානය තුළ උපදවාගන්නා ලද මාර්ගයක් ඵලයක් පිළිබඳව කිසිවෙකුට නොදන්වා කටයුතු කිරීමයි. සමාජය බොහෝ දනා සිය උගත්කම මහත්වූ මානයක් සේ නඩත්තු කිරීම් කරයි. දන්නේ පොතක් දෙකක් පමණක් වුවද තමා තරම් උගතෙකු තවත් නොමැතැයි සිතා කටයුතු කරයි. නමුදු පරියප්ති අල්පේච්ඡතාවයෙන් යුතු වූ අයෙකු සිය දැන උගත්කම් අනුනට නොදන්වා ගුණවත්ව කටයුතු කරයි. ධූතාංග අල්පේච්ඡතාව නම් පත්තපිණ්ඩිකාංගය, ඒකාසනිසනිකාංගය ආදී තෙලෙස් ධූතාංග රකින්නා විසින් තමන් රකින්නා වූ ධූතාංග නො අඟවයි. ධූතාංග හෝ අන් ගුණදහමක් හෝ ආරක්ෂා කරන්නා ඒවා අනුන්ට පෙන්වීම, ඇඟවීම නුසුදුස්සකි. ගුණ පිරියයුත්තේ අනුන්ට පෙන්වීමට, ඇඟවීමට නොවේ. සිය සන්තානය පිරිසිදු කර ගැනීම පිණිසය. එහෙයින් නිවැරදි අදහසින් ගුණදහම් පුරන්නා වූ පුරුෂයෝ තමන් සමග එකම කුටියෙහි වසන්නවුන්ටත් නොදැනෙන සේ සිය ගුණදහම් සුරකී. මෙම සිව් ආකාර ගුණ ඇත්තාට නිවන් අවබෝධයට පියවර යෙදීම කළහැකිය.
02. සංතෘප්තිය (සන්තුට්ඨස්සායං ධම්මො)
ධර්මය, ලැබෙන දෙයින් සතුටුවන කෙනාටය. එසේ නොමැතිව ලද දෙයින් සතුටුවන්නට බැරි අයෙකුට සද්ධර්මය නෛර්යාණික වුවත් ප්‍රතිඵල ලබන්නට පුළුවන්කමක් නැහැ. ලොව බහුතරයාගේ ස්වභාවය නම් සමෘද්ධ නොවූ චේතනාවන්ගෙන් යුතුවීමයි. එසේ චේතනාවන් ඇති අයට ධර්මාවබෝධයට අවස්ථා නොපවතී. ලද දෙයින් සතුටුවීම ත්‍රිවිධ වූ සන්තෝෂයෙන් යුක්ත විය යුතුය. පළමුවැන්න යථාලාභ සන්තෝෂයයි. උසස් හෝ විශේෂ දේ නොසොයමින් ලද දෙයින් සෑහීමකට පත්වීම එහි ස්වභාවයයි. දෙවැන්න යථාබල සන්තොෂයයි. තමාගේ ශක්තියට, හැකියාවට හා තත්වයට අනුරූපව සෑහීමකට පත්වීම එහි ස්වභාවයයි. තමන්ගේ ස්වභාවයට වෘත්තියට හෝ පැවිදි භාවයට සුදුසුද විමසා බලා ඒ තුළින් සෑහීමට පත්වීම, නුසුදුසු දේ ප්‍රාර්ථනා නොකිරීම යථාසාරුප්ප
සන්තෝෂය නම් වූ තුන්වැන්නයි.
03. පවිවේකය (පවිවිත්තස්සායං ධම්මො)
උසස් විවේකයක් ඇත්තන් හට ධර්මාවබෝධයට ඉඩ සැළසෙන අතර කෙලෙස් සමග ගැටෙමින් වසන්නන් හට ධර්මාවබෝධය නොවේ. විවේකය තුන් ආකාරය. එනම් කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය. කාය විවේකය හුදෙකලාව තුළ හිමිවන්නකි. එය අධික කටයුතුවලින් බැහැරවූ ස්වභාව සහිතයි. එහිදී භාවනාව වැඩීමට අවස්ථාවන් උදාවේ නම් චිත්ත විවේකය උපදවාගත හැකි අතර එහිදී විදර්ශනාවන් පූරණය කොට කෙලෙස් ප්‍රහීනයට වීර්ය කිරීමට සමර්ථ වීම තුළින් උපධි විවේකය නම් වූ. කෙලෙස් බැහැරවීමෙන් ලැබන විවේකය පරිහරණය කිරීමටත් ධර්මාවබෝධය කිරීමටත් අවස්ථාව සැලසේ.
04. වීර්යාරම්භය (ආරද්ධවිරියස්සයං ධම්මො)
මේ ධර්මය අරභන ලද වීර්ය ඇත්තාට මිස කුසීත වූ අයට නොවේ. වීර්ය වනාහි කායික විවේකය, චෛතසික වීර්ය යැයි දෙයාකාරය. නිර්වාණාවබෝධය ලැබීම පිණිස කය වෙහෙස සිදුකරන හිඳීම්, සිටීම්, සක්මන් කිරීම් ආදී කටයුතු කායික වීර්ය යෙදවීමයි. නිවන් දැකීම නම් වූ සිය අදහස මුදුන් පැමිණෙන තුරුම මේ වීර්ය අත් නොහරිමි,යි දැඩිව ගත් අධිෂ්ඨාන චිත්තය චෛතසික වීර්ය ලෙස දැක්විය හැකිය. නිර්වාණාවබෝධයට වීර්ය අවශ්‍ය කරුණකි.
05. සතිසම්පජඤ්ඤ (උපට්ඨිතසතිස්සායං ධම්මො)
තථාගත ධර්මයේ ඵලය අත්විඳීය හැක්කේ එළඹසිටි සිහිය ඇති අයට වන අතර මුලා වූ සිහිඇත්තාට නොවේ. මෙහි එළඹ සිටි සිහිඇත්තා නම් සතිපට්ඨාන භාවනා වශයෙන් සිහිය පුරුදුකරන්නායි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන සතර සතිපට්ඨානයේ වාසය කිරීම, සිහිය පුරුදු කිරීම ධර්මාවබෝධයට උපකාර වේ.
06. සමාධිය (සමාහිතස්සායං ධම්මො)
නිර්වාණද්වාරය විවර කර ගැනීමට සමාහිත වූ සිතක් ඇත්තවුන් හට අවස්ථාව සැළසෙනමුත් අසමාහිතවූ සන්තාන ඇති අයට අවස්ථාවක් නොවේ. සිත සමාහිත කිරීම නම් එක් කුසල් අරමුණක්හි සිත එකඟකිරීමයි. යම් කෙනෙකුට කුසලාරම්මණයක්හි සිත පිහිටුවාගෙන සමාහිත කරගත හැක්කේ නම්, එය ලොව්තුරු දහම අවබෝධයෙහිලා මහෝපකාරීය.
07. ප්‍රඥාව ( පඤ්ඤාවත්තස්සායං ධම්මො)
මේ ධර්මය ප්‍රඥාවන්තයාට මිස දුෂ්ප්‍රාඥයාට නොවේ. මෙහි ප්‍රඥ්ඥාව ලෙස කම්මස්සකථා ප්‍රඥාව දක්වයි. දසවස්තුක සම්මාදිට්ඨි සහගතවීම, කර්මඵල පිළිබඳ මනා අවබෝධයෙන් තේරුම්ගැනීම ප්‍රඥ්ඥාවන්තයාගේ ස්වභාවයයි. එසේවූ තැනැත්තාට ධර්මාවබෝධය පහසුවේ.
08. නිප්පපඤ්චතාව (නිප්පපඤ්චාරාමස්සායං ධම්මො)
තථාගත ලොව්තුරු දහම නිවන් පදයෙහි ඇලුණාවූ අයට මිස තෘෂ්ණා, මාන, දිට්ඨි යන කෙලෙස් පපඤ්චයන්ට ඇලුණාවූ අයට නොවේ. පපඤ්චයන්ට ඇලීම ප්‍රමාදයයි. නිප්පපඤ්ච යනු නිර්වාණයයි. නිවනට ඇලීම අප්‍රමාදයයි. එය නිර්වාණය අවබෝධයට ඉමහත්වූම හේතුවයි.
මෙම මහා පුරුෂ විතර්ක අට නිර්වාණ ද්වාරය විවර කිරීම පිණිස උපකාරවන යතුරු අටක් බඳුය. මේවා නිතර නිතර මෙහෙනි කිරීම තුළින්, වැඩීම ප්‍රගුණ කිරීම තුළින් සිත ධ්‍යාන මට්ටම් දක්වා දියුණු කිරීමටත් එයම උපකාර කරගෙන විදර්ශනාවන් වඩා කෙලෙස් දුරුකර සැබෑ නිදහස නම් නිවන ළඟා කරගැනීමට මග පෑදේ.
පූජනීය මාපේගමුවේ දීපානන්ද ස්වාමින් වහන්සේ