06/01/2023
විවාහයට පෙර ස්තීරවශයෙන්ම කියවන්න
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🌑
අද සමාජයේ බොහෝ විවාහ තුල සතුටින් ආදරයෙන් ජිවත් වන ජොඩු දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකිනි. විවාහ ජීවිතයට ඇතුළුවූ අයගේ විවාහ වැඩි කලක් යාමට පෙර අසාර්ථක වූ අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබේ. එයට හේතුව නම් දෙදෙනාගේ කේන්දරවල ඇති විවාහ ජීවිතයට අයත් අයහපත් ග්‍රහ පිහිටීම් වේ.
කේන්දර ඉතා හොදින් ගැළපීමෙන් පවා විවාහ වූ අයගේ ද විවාහ අසාර්ථකව දික්කසාද වූ අවස්ථා ඕනෑ තරම්ය.
හේතුව කුමක්ද????
බොහෝ අය දන්නා පරිදි පොරොන්දම් 20 පමණක් ගලපා විවාහය සිදුකිරීමය. පොරොන්දම් 20 ගැළපීම ද අනිවාර්යයෙන් සිදුකළ යුතු දෙයක් වන අතර ඊටත් වඩා ප්‍රධාන ලෙස දෙදෙනාගේ කේන්දරවල ඇති ග්‍රහ පිහිටීම්වල ඇති යහපත් හෝ අයහපත් බව හොඳින් ගළපා විවාහය සිදු නොකිරීම මෙම තත්වයන්ට ප්‍රබලව බලපා ඇති බව කිව හැක.
විවාහ ජීවිතයට අහිතකර ග්‍රහ පිහිටීම් කිහිපයක් සහ ඒවායින් විවාහ ජීවිතයට ඇති කළ හැකි බලපෑම් මොනවාදැයි ඔබ සැමගේ දැනගැනීම පිණිස මෙහි සඳහන් කරමි.
1.
කේන්දරයක හත්වැන්න විවාහය සඳහා බලපාන ප්‍රධාන ස්ථානය වශයෙන් සඳහන් කළ හැක. තවද හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටි ද , හත්වැන්න අධිපතිගේ පිහිටීම ද වැදගත් වේ. එමෙන්ම අටවැන්න ද විවාහයට කෙලින්ම සම්බන්ධ ස්ථානයක් ලෙස සඳහන් කළ හැක.
2.
යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ කේන්දරයක අටවැන්නාධිපති හත්වැන්නේ සිටීම හෝ හත්වැන්නාධිපති අටවැන්නේ සිටීම, හත්වැන්නාධිපති හයවැන්නේ සිටීම හෝ හයවැන්නාධිපති හත්වැන්නේ සිටීම ප්‍රබල විවාහ දෝෂයක් වශයෙන් දැක්විය හැක. එසේ වූ විට දෙදෙනා අතර නිතර ආරවුල් ඇති වීම දෙදෙනාට දෙදෙනා සතුරුවීම සහකරු හෝ සහකාරිය බරපතළ ලෙස රෝගී වීම අකාලයේ මිය යාම දෙදෙනාට විවාහයෙන් වෙන්වීමට සිදුවීම වැනි දේවල් ඇතිවිය හැකිය.
3.
විවාහ ජීවිත අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වශයෙන් සඳහන් කළ හැක්කේ අති ධාවන කාම යෝග පැවතීමය. හත්වැන්නේ සිකුරු ප්‍රමාණයට වඩා බලවත්ව පිහිටීම, හත්වැන්නේ කුජ-සිකුරු සඳු-සිකුරු රාහු-සිකුරු සහ රවි-සිකුරු යෝග පැවතීම අති ධාවන කාම යෝග වශයෙන් හැඳින්වේ. මෙවැනි අති ධාවන කාම යෝග තිබෙන අයට ගැළපෙන්නේ අනෙක් කේන්දරයේද කාම ශක්තිය බලවත් වූ අය වේ. එසේ නොමැති වූ විට ලිංගික ජීවිතයේ නොගැළපීම් හේතුවෙන් විවාහය දෙදරායාම හෝ අනියම් සම්බන්ධතාවලට යොමු වීම විය හැක.. විශේෂයෙන්ම කුජ-සිකුරු යෝගය ඇති අයට ගැළපෙන්නේ කේන්දරයේ කොතැනක හෝ එවැනිම යෝගයක් ඇති අය වේ.
4.
ලග්නයේ පිහිටි පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිය හත්වැන්න වෙත වැටිමද විවාහ ජීවිතයේ නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකි තත්වයකි.
රවි හෝ ශනි හෝ කුජ හෝ ලග්නයේ තැන්පත් වීම සඳහන් කළ හැකිය.
5.
හත්වැන්නේ සිටින පාප ග්‍රහයන් හේතුවෙන් ද විවාහ ජීවිතවලට නොයෙකුත් ගැටලු ඇතිවිය හැකිය. කුජ හෝ රවි හෝ ශනි හත්වැන්නේ සිටීම ද සඳහන් කළ හැකිය. එවැනි අයට ගැළපෙන්නේ අනෙක් කේන්දරයේ ද එවැනිම ග්‍රහ පිහිටීම් ඇති අය වේ. ගුරු හත්වැන්නේ සිටීම ද විවාහයේ මුල් අවධියේ දී ගැටලු ඇති නොවුවත් පසු කාලයේ දී විවාහය අසාර්ථක කරන පිහිටීමක් වේ. එවැනි අයට ගුරු හත්වැන්නේම පිහිටි කේන්දරයක් ගැළපීමෙන් එම දෝෂය මගහැර ගත හැක.
6.
රාහු ලග්නයේ කේතු හත්වැන්නේ ද කේතු ලග්නයේ රාහු හත්වැන්නේ පිහිටීම ද විවාහයට අහිතකර බලපෑම් ඇති කළ හැකි පිහිටීමකි. එවැනි අයට ද ගැළපෙන්නේ එවැනිම පිහිටීමක් ඇති කේන්දර වේ. එවිට දෙදෙනාගේම දෝෂ ඇති බැවින් එකිනෙකට දෝෂ භංග වේ.
7.
කුජ-ශනි යෝගය හෙවත් ශනිමංගල යෝගය ද විවාහයට අහිතකර යෝගයක් වශයෙන් හැඳින්විය හැකිය. විශේෂයෙන්ම කුජ-ශනි යෝගය විවාහයට කෙලින්ම සම්බන්ධ ස්ථාන වන ලග්නයේ හත්වැන්නේ හෝ අටවැන්නේ පිහිටීම ඉතා අශුභ විය හැකිය. එවැනි අයට ද ගැළපෙන්නේ එවැනිම යෝගයක් කේන්දරයක කොතැනක හෝ ඇති අය වේ.
8.
විවාහයට අහිතකර බලපෑම් ඇති කළ හැකි තවත් පිහිටීමක් වශයෙන් හත්වැන්න පාපකර්තරී වීම සහ සිකුරු පාපකර්තරී වීම ද සඳහන් කළ හැකිය. මේ නිසා දෙදෙනා අතර ගැටලු ඇතිවීම සහ සහකරු හෝ සහකාරිය අකාලයේ මියයාම ද විවාහ ජීවිතය කරදර මැද ගෙනයාමට සිදුවීම හෝ කුමන හෝ ක්‍රමයකින් විවාහය දෙදරායාම සිදුවිය හැකිය.
9.
හත්වැන්නේ අශුභ ග්‍රහ පිහිටීම් මෙන්ම අටවැන්නේ අශුභ ග්‍රහ පිහිටීම් ද විවාහ ජීවිතයට අහිතකර බලපෑම් ඇති කළ හැකිය. විශේෂයෙන්ම කුජ හෝ ශනි හෝ රාහු අටවැන්නේ සිටීම ද සඳහන් කළ හැකිය.
10.
බොහෝ දෙනෙකු දන්නා පරිදි විවාහයට අහිතකර පිහිටීමක් වශයෙන් භෞම දෝෂය හෙවත් කුජ දෝෂය හැඳින්විය හැකිය. භෞම දෝෂය වශයෙන් සැලකෙන්නේ යම්කිසි කේන්ද්‍රයක කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 තැන්පත් වීමයි. ඉහත සඳහන් කළ ස්ථානවල කුජ තැන්පත්ව සිටින අය ඕනෑ තරම් දක්නට ලැබේ. එහෙත් ඒ හැම පුද්ගලයෙකුගේම විවාහය අසාර්ථක වී නොමැත. එයට හේතුව නම් භෞම දෝෂය පැවතිය ද එම දෝෂය භංග වන ක්‍රම බොහෝ ගණනක් පැවතීමයි. සමහර ලග්නවලට ඉහත සඳහන් කළ ස්ථානවල කුජ සිටීමෙන් භෞම දෝෂය පවතින අතර සමහර ලග්නවලට එය සුළු වශයෙන් පැවතීම හෝ මුළුමනින්ම අහෝසිවීම සිදුවේ. තවද ඉහත ස්ථානවල කුජ සිටිය ද වෙනත් ග්‍රහයන් සමග සංයෝග වීමෙන් භෞම දෝෂය භංග වන අවස්ථා ඇත.
📍 විවාහ ජීවිතය අසාර්ථක කරන ග්‍රහ පිහිටීම් කිහිපයක්ම මෙහි සඳහන් කලා. අයහපත් ග්‍රහ පිහිටීම් හේතුවෙන් විවාහය අසාර්ථක වූ අය මෙන්ම විවාහය බොහෝ කලක් ප්‍රමාදවීම හෝ විවාහ වීමට නොහැකිවීම හේතුවෙන් අසහනයට පත්වූ අය ද සිටි. එසේ වීමට කේන්දර වල ඇති අයහපත් ග්‍රහ පිහිටීම් බලපායි.
විවාහ ප්‍රමාදයට ප්‍රධාන වශයෙන් බලපාන ග්‍රහ පිහිටීම් වශයෙන්
➖➖➖➖➖➖➖➖➖➖➖➖
#. ශනි, කේතු, ගුරු හෝ රවි හත්වැන්නේ තැන්පත්වීම,
#. හත්වැන්න පාපකර්තරී වීම
#. හත්වැන්න අධිපති නීච වීම
#. සිකුරු පාපකර්තරී වීම
#. හැත්වැන්න අධිපති ශනිගේ නැකතක සිටීම
#. හත්වැන්න අධිපති ශනි සමග සංයෝගවීම
#. හත්වැන්න පාප ග්‍රහයන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටියට ලක්වීම
#. පාප ග්‍රහයන්ගේ මහ දශාවන් පැවතීම ද
සඳහන් කළ හැක. මෙම ග්‍රහ පිහිටීම් විවාහ ප්‍රමාදයේ සිට විවාහයක් සිද්ද නොවීමට වුවද හේතු සපයයි.
මෙහි සඳහන් කළ විවාහයට බලපාන ග්‍රහ පිහිටීම් වලට අමතරව තවත් බොහෝ අහිතකර මෙන්ම හිතකර ග්‍රහ පිහිටීම් මෙන්ම ග්‍රහ සංයෝග ද කේන්දරවල පවති.
තමන්ගේ ද , දෙමව්පියන් වශයෙන් තමන්ගේ දරුවන්ගේ කේන්දර ඔවුන් වැඩිවියට පැමිණීමත් සමගම පළපුරුදු ජ්‍යොතිෂවේදියෙකු ලවා හොඳින් පරික්ෂා කරවාගෙන අහිතකර ග්‍රහ පිහිටීම් පවතී නම් ඒවාට කල්වේලා ඇතිව නිසි පියවර ගෙන අනාගතය සකස්කර ගැනීම හා සකස්කර දීම වැදගත් වේ..
ජොතිෂ්‍යයෙන් ප්‍රයෝජන ගැනීම වනාහි .. කාලගුණික බලා අද වහින බව දැන, ගමන පිටත් වීමට පෙර, කුඩයක් ගෙන යාමෙන් වැස්සද නොතෙමි ආරක්ශිතව යලි නිවසට ඒමට හැකිවීමයි ..
🙏