22/07/2026
මම හිතන්නේ මගේ ජීවිතේ කොහේ හරි නතර වෙලා ඇය එහෙම කියලා නිහඬ වුණා. මම ඇයගේ මුහුණ දිහා බැලුවා.
වයස තිහට ආසන්නයි, රැකියාවක් කරන ඇය උගත් කෙනෙක්.
පෙනුමෙන් බැලුවොත් ජීවිතයේ කිසිම අඩුවක් නැති කෙනෙක් වගේ.
ඒත්…
ඇයගේ ඇස්වල තිබුණේ වෙනම කතාවක්.
මම ඇහුවා,
ඇයි එහෙම හිතෙන්නේ?
ඇය මොහොතක් නිහඬ වුණා. ඊට පස්සේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
කෙනෙකුට ජීවිතේ පටන් ගන්න බැරි වෙලා අවුරුදු ගාණක් ඉන්න පුළුවන්ද?
මම උත්තරයක් දුන්නේ නැහැ.
ඇයට තව කියන්න ඉඩ දුන්නා, ඇය හිනාවෙන්න උත්සාහ කළා.
ඒත් ඒ හිනාව ඇයගේ මුහුණට ගැළපුණේ නැහැ.
මට දැනෙන්නේ මම ජීවත් වෙනවා නෙවෙයි…
ජීවිතේ පටන් ගන්න දවසක් එනකම් බලාගෙන ඉන්නවා වගේ…
මම ඇයට වතුර වීදුරුව දිගු කළා, ඇය එය අතට ගත්තා.
නමුත් එය බිව්වේ නැහැ.
ටික වෙලාවක් වීදුරුව දිහා බලාගෙන හිටියා.
ඊට පස්සේ ඇය සෙමින් කතා කළා.
මම කසාද බැඳලා අවුරුදු තුනක් වෙනවා, අපි තාම අඹු සැමියන් විදියට ජීවත් වෙලාම නැහැ…
මම හිස වැනුවා.
මම තාම ඉන්නේ මගේ අම්මලාගේ ගෙදර…
මම කිසිම දෙයක් කිව්වේ නැහැ. ඇය තවත් එක වාක්‍යයක් කිව්වා.
එයාත්…
තාම ඉන්නේ එයාගේ අම්මලාගේ ගෙදර…
අපි ජීවිතය කොහෙන් පටන් ගන්නද කියලා මට හිතාගන්න බැහැ…
කවදා… කොහොම… ඒක පටන් ගනීවිද කියලත් මම දන්නේ නැහැ…
ඇය මොහොතක් නිහඬ වුණා.
සමහර වෙලාවට මට හිතෙනවා, අපිට කවදාවත් එකට ඉඳලා ලස්සන විවාහ ජීවිතයක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැද්ද කියලා…
ඇයගේ කටහඬ ටිකෙන් ටික බිඳෙන්න පටන් ගත්තා.
අනේ…
මට තේරෙන්නේ නැහැ..
මම මේ දේවල් ගැන ඕනවට වඩා හිතනවද කියලා…
ඇයි එහෙම කියන්නේ?
එයා හැමවෙලේම කියන්නේ…
ඔයා ඕනවට වඩා හිතනවා, ඒකයි ඔයාට මේ හැම ප්‍රශ්නයක්ම පේන්නේ, ටිකක් ඉවසන්න…
අපි දැනටමත් කසාද බැඳලා නේ ඉන්නේ… කියලා.
ඇය හිස පහත් කළා.
ඔව්…
මම දන්නවා…
මම සමහර දේවල් ගැන ඕනවට වඩා හිතන කෙනෙක් කියලා…
ඊට පස්සේ ඇය මගේ ඇස් දිහා කෙළින්ම බැලුවා.
ඒත්..
මගේ ජීවිතය ගැන…
මගේ විවාහය ගැන…
මේ තරම් ලොකු දෙයක් ගැන මම හිතන එකත් වැරදිද?
මම තරුණ ගැහැණු ළමයෙක් මටත් හීන තියනවා මටත් ආසාවන් තියනවා..
එහෙම කෙනෙක් විදියට මම මේ දේවල් ගැන හිතන එක වැරදිද.. මම හිතන්නේ කාගෙවත් ජීවිතයක් ගැන නෙවෙයි මගේ ජීවිතය ගැන..
ඇයගේ ප්‍රශ්නයට මම ඉක්මනින් උත්තරයක් දුන්නේ නැහැ.
සමහරවිට…
එයා හිතන විදියත් එයාට අනුව හරි වෙන්න පුළුවන්…
මම නිහඬව ඇහුම්කන් දුන්නා.
එයා කියන්නේ, අපි wedding එකක් ගන්න ඕන.
ඒකට ලොකු වියදමක් යනවා.
ඉක්මන් කරන්න එපා.
තව ටිකක් ඉවසමු… කියලා.
ඇය සුසුමක් හෙළුවා.
මමත් ඒක තේරුම් ගන්නවා.
ටික වෙලාවක් නිහඬව හිටපු ඇය ආයෙත් කතා කළා.
ඒත්…
ජීවිතය පටන් ගන්න wedding එකමද ඕන?
Wedding එකක් ගන්නකම් විවාහ ජීවිතය පටන් ගන්න බැරිද?
මම ඉල්ලුවේ මගේ මහත්තයා එක්ක ජීවිතේ පටන් ගන්න එක විතරයි…
මට දැන් හිතෙනවා…
අපි දෙන්න මෙහෙම දෙපැත්තට වෙලා හිටියා ඇති…
ඇය සුසුමක් හෙළුවා.
සමහර දවස්වල එයා මොනවා කරනවද කියලා මම දන්නෙ නැහැ…
මම මොනවා කරනවද කියලා එයා දන්නෙත් නැහැ…
ඇය ටික වෙලාවක් නිහඬව හිටියා.
දවසක් මම Facebook එකේ දැක්කා…
එයා යාළුවෝ එක්ක wedding එකකට ගිහින්…
ඇය හිනා වුණේ නැහැ.
තව දවසක් trip එකකට ගිහින්…
තව දවසක් party එකකට…
ඇයගේ කටහඬ හෙමින් බිඳුණා.
ඒ හැම photo එකක්ම දකිද්දි මට හිතෙන්නේ එකම දෙයයි…”
මම නිහඬව බලාගෙන හිටියා.
මමත් එයාගේ බිරිඳ නේද…
ඒ photo එකේ එයා ළඟ ඉන්න ඕන කෙනා මම නේද…
ඇයගේ ඇස්වල කඳුළු පිරෙන්න පටන් ගත්තා.
අපිට අහිමි වෙන්නේ එක ගෙදරක ඉන්න එක විතරක් නෙවෙයි..
අපිට අහිමි වෙන්නේ…
අපේ මතක...
අපි කසාද බැඳපු දවසේ social media වලට photo දැම්මා…
ඇය හිනා වුණා.
ඒත් ඒ හිනාව ඇයගේ ඇස්වලට ගියේ නැහැ.
ඊට පස්සේ…
අද වෙනකම් අපි දෙන්න එකට ඉන්න photo එකක් දාලා නැහැ…
මම නිහඬව ඇහුම්කන් දුන්නා.
දාන්න තරම් එකට ගත කරපු දවස් තිබුණෙත් නැහැ…
ටික වෙලාවක් නිහඬව හිටපු ඇය නැවත කතා කළා.
දැන් නම් photo එකක් තිබුණත්…
දාන්න බයයි…
ඇයි?
මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි නිසා…
කවද්ද wedding එක ගන්නේ?
කවද්ද එකට පදිංචි වෙන්නේ?
කවද්ද දෙන්න තුන්දෙනා වෙන්නේ?
ඇය හිස පහත් කළා.
මේ ප්‍රශ්න අහන හැම වෙලාවකම…
මට දැනෙන්නේ මගේ ජීවිතයම නතර වෙලා කියලා…
මේ ගැන එයාට කිව්වම…
එයා කියන්නේ…
රටේ ලෝකේ මිනිස්සුන්ට හදිසි වුණාට…
අපිට හදිසි වෙන්න බැහැනේ.
අපිට තියෙන ප්‍රශ්න දන්නේ අපි…
ඇය සුසුමක් හෙළුවා.
ඒ වෙලාවට මට තරහ යනවා…
මම අහනවා…
මොනවාද අපිට ඔච්චර තියෙන ප්‍රශ්න? කියලා…
එතකොට එයා කියනවා…
ඔයාටනේ ඕන වුණේ ලොකු wedding එකක්…
අලුත් ගෙදරකට යන්න…
ඒ හැමදේම කරගන්නකම් ඉවසන්න…
අපේ යාලුවන් අපේ වයස්වල අය මේ වෙද්දී ජීවිතයේ අපිට වඩා කොයි තරම් දුර ගිහින්ද, සමහර අය තමන්ගේ දෙවැනි තුන් වෙනි බබාගේ උපන්දින සමරනවා. හතරවන පස්වන විවාහ සංවත්සර සමරනවා...
වට face book insta එකට යන්න හිතෙන්නේ නැහැ, ඒවා දකිද්දී හරිම දුකයි..
අපිටත් මෙහෙම ලස්සන පවුලක් වෙන්න තියන අවස්ථාව නේද අපි මේ කල් දාන්නෙ කියලා හිතෙනවා..
ඇය කතා කරලා ඉවර වුණා.
මම ටික වෙලාවක් කිසිම දෙයක් කිව්වේ නැහැ.
ඊට පස්සේ මම ඇගෙන් එකම එක ප්‍රශ්නයක් ඇහුවා.
ඔයා හිතන්නේ…
ඔයාට විවාහ ජීවිතය පටන් ගන්න ඕන වෙලා තියෙන්නේ කොතනින්ද?
ඇය ඉක්මනින්ම උත්තර දුන්නා.
මට wedding එකක් ඕන නෑ..
මට ඕන මගේ මහත්තයා එක්ක එක ගෙදරක උදේට නැගිටින්න.
එයා වැඩ ඇරිලා ගෙදර එනකම් බලාගෙන ඉන්න.
එකට කෑම කන්න.
පොඩි දේවල් ගැන රණ්ඩු වෙන්න.
ආයෙ හරි යන්න.
සාමාන්‍ය අඹු සැමියන් වගේ ජීවත් වෙන්න…
මම හිස වැනුවා.
ඊට පස්සේ මම තවත් ප්‍රශ්නයක් ඇහුවා.
එයාට විවාහ ජීවිතය පටන් ගන්න ඕන වෙලා තියෙන්නේ කොතනින්ද කියලා ඔයා හිතනවාද?
ඇය ටික වෙලාවක් කල්පනා කළා.
එයා හිතන්නේ…
ලොකු wedding එකක් ගත්තට පස්සේ…
අලුත් ගෙදරකට ගියාට පස්සේ…
හැමදේම හරි ගියාට පස්සේ…
මම මොහොතක් නිහඬව හිටියා.
ඊට පස්සේ මම හෙමින් ඇහුවා.
එතකොට…
ඔයා දෙන්නා බලාගෙන ඉන්නේ එකම දවසක්ද…
නැත්නම් වෙන වෙනස් දවස් දෙකක්ද?
ඇය කිසිම දෙයක් කිව්වේ නැහැ.
ඇය ටික වෙලාවක් බිම බලාගෙන හිටියා.
ඊට පස්සේ හෙමින් කිව්වා…
මම කවදාවත් එහෙම හිතලා තිබුණේ නැහැ..
මට ඕන වුණේ…
අද ඉඳන් එයා එක්ක ජීවත් වෙන්න…
එයාට ඕන වෙලා තියෙන්නේ…
කවදාහරි දවසක ජීවිතේ පටන් ගන්න…
ඇය ආයෙත් නිහඬ වුණා.
ඒ නිහඬතාවය බිඳුවේ මම.
එහෙනම්…
මේ අවුරුදු තුන පුරා ඔයා දෙන්නා රණ්ඩු කරලා තියෙන්නේ එකිනෙකා එක්ක නෙවෙයි…
ජීවිතය පටන් ගන්න හොඳම දවස මොකක්ද කියන එකත් එක්ක…
ඇය හෙමින් හිස වැනුවා.
ඔව් සර්…
දැන් තමයි මට ඒක තේරෙන්නේ…
ඇයගේ කතාව අහගෙන ඉද්දී මට හිතුණේ…
සමහර යුවළයන්ගේ ප්‍රශ්නය ආදරය නැති වීම නිසා හට ගන්නවා නොවෙයි.
ජීවිතය පටන් ගන්න සුදුසුම දවස මොකක්ද කියන එක ගැන ඔවුන් දෙන්නා වෙනස් විදියට හිතන එක වෙන්නත් පුළුවන් කියලා.
මම ඔයාගෙන් එක දෙයක් අහන්නද…
ඇය හිස වැනුවා.
මේ අවුරුදු තුන පුරා…
ඔයා ජීවත් වුණේ බිරිඳක් විදියටද…
නැත්නම්…
කවදාහරි ජීවිතේ පටන් ගනීවි කියලා බලාගෙන ඉන්න කෙනෙක් විදියටද?
ඇය මොහොතක් නිහඬ වුණා.
ඊට පස්සේ…
මම බලාගෙන හිටියා...
අද නෙවෙයි…
හෙට…
හෙට නෙවෙයි…
ලබන අවුරුද්ද…
Wedding එකෙන් පස්සේ…
ගෙදර හැදුවට පස්සේ…
හැමදේම හරි ගියාට පස්සේ…
ඇය හිනාවුණා.
ඒත් ඒ හිනාව ඇතුළේ තිබුණේ දුකක්.
දැන් මට තේරෙනවා…
මම අවුරුදු තුනක් ජීවත් වෙලා නැහැ…
මම අවුරුදු තුනක් බලාගෙන හිටියා…
ඇයගේ ඒ වචන ටිකට පස්සේ මම කිසිම දෙයක් කිව්වේ නැහැ.
මොකද…
ඇයට තේරෙන්න ඕන දේ ඒ මොහොතේ ඇයටම තේරිලා තිබුණා.
උපදේශනයට එන සමහර අයගේ ජීවිත නතර වෙලා තියෙන්නේ ප්‍රශ්න නිසාම නොවෙයි.
ජීවිතය පටන් ගන්න හොඳම දවස තවම ඇවිත් නැහැ කියලා අද ජීවිතය කල් දාන මිනිසුන් අපි අතර ඕන තරම් ඉන්නවා..
අපි ඒ දවස එනකම් බලාගෙන ඉන්නවා.
රැකියාවක් ලැබෙනකම්…
ගෙයක් හදනකම්…
සල්ලි ටිකක් එකතු වෙනකම්…
Wedding එක ගන්නකම්…
ළමයෙක් ලැබෙනකම්…
ඊට පස්සේ තමයි ජීවත් වෙන්නේ කියලා.
ඒත්…
සමහර වෙලාවට අපි බලාගෙන ඉන්න අතරේම,
ජීවිතය නිහඬව ඉස්සරහට යනවා.
ආයෙ කවදාවත් ආපහු නොඑන දවස්…
එකට එකතු වෙලා හදන්න තිබුණු මතක…
කතා කරන්න තිබුණු රාත්‍රීන්…
එකට හිනා වෙන්න තිබුණු මොහොතවල්…
අපි දැනගන්න කලින්ම අතහැරීලා යනවා.
ඒ කාන්තාවගේ කතාවෙන් පස්සේ…
මම ආපහු මගෙන්ම අහපු ප්‍රශ්නයක් තිබුණා, අපිත් ජීවිතය පටන් ගන්න බලාගෙන ඉන්න අතරේ…
අපේ ජීවිතය දැනටමත් පටන් අරගෙන ඉවරද?
Psychological Counselor
Kasun Rajapaksha