Kasun Rajapaksha

Kasun Rajapaksha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasun Rajapaksha, Matara.
(1)

මම හිතන්නේ මගේ ජීවිතේ කොහේ හරි නතර වෙලා ඇය එහෙම කියලා නිහඬ වුණා. මම ඇයගේ මුහුණ දිහා බැලුවා.වයස තිහට ආසන්නයි, රැකියාවක් ක...
22/07/2026

මම හිතන්නේ මගේ ජීවිතේ කොහේ හරි නතර වෙලා ඇය එහෙම කියලා නිහඬ වුණා. මම ඇයගේ මුහුණ දිහා බැලුවා.

වයස තිහට ආසන්නයි, රැකියාවක් කරන ඇය උගත් කෙනෙක්.

පෙනුමෙන් බැලුවොත් ජීවිතයේ කිසිම අඩුවක් නැති කෙනෙක් වගේ.

ඒත්…

ඇයගේ ඇස්වල තිබුණේ වෙනම කතාවක්.

මම ඇහුවා,

ඇයි එහෙම හිතෙන්නේ?

ඇය මොහොතක් නිහඬ වුණා. ඊට පස්සේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

කෙනෙකුට ජීවිතේ පටන් ගන්න බැරි වෙලා අවුරුදු ගාණක් ඉන්න පුළුවන්ද?

මම උත්තරයක් දුන්නේ නැහැ.

ඇයට තව කියන්න ඉඩ දුන්නා, ඇය හිනාවෙන්න උත්සාහ කළා.

ඒත් ඒ හිනාව ඇයගේ මුහුණට ගැළපුණේ නැහැ.

මට දැනෙන්නේ මම ජීවත් වෙනවා නෙවෙයි…
ජීවිතේ පටන් ගන්න දවසක් එනකම් බලාගෙන ඉන්නවා වගේ…

මම ඇයට වතුර වීදුරුව දිගු කළා, ඇය එය අතට ගත්තා.
නමුත් එය බිව්වේ නැහැ.

ටික වෙලාවක් වීදුරුව දිහා බලාගෙන හිටියා.

ඊට පස්සේ ඇය සෙමින් කතා කළා.

මම කසාද බැඳලා අවුරුදු තුනක් වෙනවා, අපි තාම අඹු සැමියන් විදියට ජීවත් වෙලාම නැහැ…

මම හිස වැනුවා.

මම තාම ඉන්නේ මගේ අම්මලාගේ ගෙදර…

මම කිසිම දෙයක් කිව්වේ නැහැ. ඇය තවත් එක වාක්‍යයක් කිව්වා.

එයාත්…
තාම ඉන්නේ එයාගේ අම්මලාගේ ගෙදර…

අපි ජීවිතය කොහෙන් පටන් ගන්නද කියලා මට හිතාගන්න බැහැ…
කවදා… කොහොම… ඒක පටන් ගනීවිද කියලත් මම දන්නේ නැහැ…

ඇය මොහොතක් නිහඬ වුණා.

සමහර වෙලාවට මට හිතෙනවා, අපිට කවදාවත් එකට ඉඳලා ලස්සන විවාහ ජීවිතයක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැද්ද කියලා…

ඇයගේ කටහඬ ටිකෙන් ටික බිඳෙන්න පටන් ගත්තා.

අනේ…
මට තේරෙන්නේ නැහැ..
මම මේ දේවල් ගැන ඕනවට වඩා හිතනවද කියලා…

ඇයි එහෙම කියන්නේ?

එයා හැමවෙලේම කියන්නේ…

ඔයා ඕනවට වඩා හිතනවා, ඒකයි ඔයාට මේ හැම ප්‍රශ්නයක්ම පේන්නේ, ටිකක් ඉවසන්න…
අපි දැනටමත් කසාද බැඳලා නේ ඉන්නේ… කියලා.

ඇය හිස පහත් කළා.

ඔව්…
මම දන්නවා…
මම සමහර දේවල් ගැන ඕනවට වඩා හිතන කෙනෙක් කියලා…

ඊට පස්සේ ඇය මගේ ඇස් දිහා කෙළින්ම බැලුවා.

ඒත්..
මගේ ජීවිතය ගැන…
මගේ විවාහය ගැන…
මේ තරම් ලොකු දෙයක් ගැන මම හිතන එකත් වැරදිද?

මම තරුණ ගැහැණු ළමයෙක් මටත් හීන තියනවා මටත් ආසාවන් තියනවා..

එහෙම කෙනෙක් විදියට මම මේ දේවල් ගැන හිතන එක වැරදිද.. මම හිතන්නේ කාගෙවත් ජීවිතයක් ගැන නෙවෙයි මගේ ජීවිතය ගැන..

ඇයගේ ප්‍රශ්නයට මම ඉක්මනින් උත්තරයක් දුන්නේ නැහැ.

සමහරවිට…
එයා හිතන විදියත් එයාට අනුව හරි වෙන්න පුළුවන්…

මම නිහඬව ඇහුම්කන් දුන්නා.

එයා කියන්නේ, අපි wedding එකක් ගන්න ඕන.
ඒකට ලොකු වියදමක් යනවා.
ඉක්මන් කරන්න එපා.
තව ටිකක් ඉවසමු… කියලා.

ඇය සුසුමක් හෙළුවා.

මමත් ඒක තේරුම් ගන්නවා.

ටික වෙලාවක් නිහඬව හිටපු ඇය ආයෙත් කතා කළා.

ඒත්…
ජීවිතය පටන් ගන්න wedding එකමද ඕන?

Wedding එකක් ගන්නකම් විවාහ ජීවිතය පටන් ගන්න බැරිද?

මම ඉල්ලුවේ මගේ මහත්තයා එක්ක ජීවිතේ පටන් ගන්න එක විතරයි…

මට දැන් හිතෙනවා…
අපි දෙන්න මෙහෙම දෙපැත්තට වෙලා හිටියා ඇති…

ඇය සුසුමක් හෙළුවා.

සමහර දවස්වල එයා මොනවා කරනවද කියලා මම දන්නෙ නැහැ…
මම මොනවා කරනවද කියලා එයා දන්නෙත් නැහැ…

ඇය ටික වෙලාවක් නිහඬව හිටියා.

දවසක් මම Facebook එකේ දැක්කා…
එයා යාළුවෝ එක්ක wedding එකකට ගිහින්…

ඇය හිනා වුණේ නැහැ.

තව දවසක් trip එකකට ගිහින්…
තව දවසක් party එකකට…

ඇයගේ කටහඬ හෙමින් බිඳුණා.

ඒ හැම photo එකක්ම දකිද්දි මට හිතෙන්නේ එකම දෙයයි…”

මම නිහඬව බලාගෙන හිටියා.

මමත් එයාගේ බිරිඳ නේද…
ඒ photo එකේ එයා ළඟ ඉන්න ඕන කෙනා මම නේද…

ඇයගේ ඇස්වල කඳුළු පිරෙන්න පටන් ගත්තා.

අපිට අහිමි වෙන්නේ එක ගෙදරක ඉන්න එක විතරක් නෙවෙයි..

අපිට අහිමි වෙන්නේ…
අපේ මතක...

අපි කසාද බැඳපු දවසේ social media වලට photo දැම්මා…

ඇය හිනා වුණා.

ඒත් ඒ හිනාව ඇයගේ ඇස්වලට ගියේ නැහැ.

ඊට පස්සේ…
අද වෙනකම් අපි දෙන්න එකට ඉන්න photo එකක් දාලා නැහැ…

මම නිහඬව ඇහුම්කන් දුන්නා.

දාන්න තරම් එකට ගත කරපු දවස් තිබුණෙත් නැහැ…

ටික වෙලාවක් නිහඬව හිටපු ඇය නැවත කතා කළා.

දැන් නම් photo එකක් තිබුණත්…
දාන්න බයයි…

ඇයි?

මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි නිසා…

කවද්ද wedding එක ගන්නේ?

කවද්ද එකට පදිංචි වෙන්නේ?

කවද්ද දෙන්න තුන්දෙනා වෙන්නේ?

ඇය හිස පහත් කළා.

මේ ප්‍රශ්න අහන හැම වෙලාවකම…
මට දැනෙන්නේ මගේ ජීවිතයම නතර වෙලා කියලා…

මේ ගැන එයාට කිව්වම…
එයා කියන්නේ…

රටේ ලෝකේ මිනිස්සුන්ට හදිසි වුණාට…
අපිට හදිසි වෙන්න බැහැනේ.
අපිට තියෙන ප්‍රශ්න දන්නේ අපි…

ඇය සුසුමක් හෙළුවා.

ඒ වෙලාවට මට තරහ යනවා…

මම අහනවා…
මොනවාද අපිට ඔච්චර තියෙන ප්‍රශ්න? කියලා…

එතකොට එයා කියනවා…

ඔයාටනේ ඕන වුණේ ලොකු wedding එකක්…
අලුත් ගෙදරකට යන්න…
ඒ හැමදේම කරගන්නකම් ඉවසන්න…

අපේ යාලුවන් අපේ වයස්වල අය මේ වෙද්දී ජීවිතයේ අපිට වඩා කොයි තරම් දුර ගිහින්ද, සමහර අය තමන්ගේ දෙවැනි තුන් වෙනි බබාගේ උපන්දින සමරනවා. හතරවන පස්වන විවාහ සංවත්සර සමරනවා...

වට face book insta එකට යන්න හිතෙන්නේ නැහැ, ඒවා දකිද්දී හරිම දුකයි..

අපිටත් මෙහෙම ලස්සන පවුලක් වෙන්න තියන අවස්ථාව නේද අපි මේ කල් දාන්නෙ කියලා හිතෙනවා..

ඇය කතා කරලා ඉවර වුණා.

මම ටික වෙලාවක් කිසිම දෙයක් කිව්වේ නැහැ.

ඊට පස්සේ මම ඇගෙන් එකම එක ප්‍රශ්නයක් ඇහුවා.

ඔයා හිතන්නේ…
ඔයාට විවාහ ජීවිතය පටන් ගන්න ඕන වෙලා තියෙන්නේ කොතනින්ද?

ඇය ඉක්මනින්ම උත්තර දුන්නා.

මට wedding එකක් ඕන නෑ..

මට ඕන මගේ මහත්තයා එක්ක එක ගෙදරක උදේට නැගිටින්න.
එයා වැඩ ඇරිලා ගෙදර එනකම් බලාගෙන ඉන්න.
එකට කෑම කන්න.
පොඩි දේවල් ගැන රණ්ඩු වෙන්න.
ආයෙ හරි යන්න.
සාමාන්‍ය අඹු සැමියන් වගේ ජීවත් වෙන්න…

මම හිස වැනුවා.

ඊට පස්සේ මම තවත් ප්‍රශ්නයක් ඇහුවා.

එයාට විවාහ ජීවිතය පටන් ගන්න ඕන වෙලා තියෙන්නේ කොතනින්ද කියලා ඔයා හිතනවාද?

ඇය ටික වෙලාවක් කල්පනා කළා.

එයා හිතන්නේ…
ලොකු wedding එකක් ගත්තට පස්සේ…
අලුත් ගෙදරකට ගියාට පස්සේ…
හැමදේම හරි ගියාට පස්සේ…

මම මොහොතක් නිහඬව හිටියා.

ඊට පස්සේ මම හෙමින් ඇහුවා.

එතකොට…
ඔයා දෙන්නා බලාගෙන ඉන්නේ එකම දවසක්ද…
නැත්නම් වෙන වෙනස් දවස් දෙකක්ද?

ඇය කිසිම දෙයක් කිව්වේ නැහැ.

ඇය ටික වෙලාවක් බිම බලාගෙන හිටියා.

ඊට පස්සේ හෙමින් කිව්වා…

මම කවදාවත් එහෙම හිතලා තිබුණේ නැහැ..

මට ඕන වුණේ…
අද ඉඳන් එයා එක්ක ජීවත් වෙන්න…

එයාට ඕන වෙලා තියෙන්නේ…
කවදාහරි දවසක ජීවිතේ පටන් ගන්න…

ඇය ආයෙත් නිහඬ වුණා.

ඒ නිහඬතාවය බිඳුවේ මම.

එහෙනම්…
මේ අවුරුදු තුන පුරා ඔයා දෙන්නා රණ්ඩු කරලා තියෙන්නේ එකිනෙකා එක්ක නෙවෙයි…

ජීවිතය පටන් ගන්න හොඳම දවස මොකක්ද කියන එකත් එක්ක…

ඇය හෙමින් හිස වැනුවා.

ඔව් සර්…
දැන් තමයි මට ඒක තේරෙන්නේ…

ඇයගේ කතාව අහගෙන ඉද්දී මට හිතුණේ…

සමහර යුවළයන්ගේ ප්‍රශ්නය ආදරය නැති වීම නිසා හට ගන්නවා නොවෙයි.

ජීවිතය පටන් ගන්න සුදුසුම දවස මොකක්ද කියන එක ගැන ඔවුන් දෙන්නා වෙනස් විදියට හිතන එක වෙන්නත් පුළුවන් කියලා.

මම ඔයාගෙන් එක දෙයක් අහන්නද…

ඇය හිස වැනුවා.

මේ අවුරුදු තුන පුරා…
ඔයා ජීවත් වුණේ බිරිඳක් විදියටද…

නැත්නම්…

කවදාහරි ජීවිතේ පටන් ගනීවි කියලා බලාගෙන ඉන්න කෙනෙක් විදියටද?

ඇය මොහොතක් නිහඬ වුණා.

ඊට පස්සේ…

මම බලාගෙන හිටියා...

අද නෙවෙයි…
හෙට…

හෙට නෙවෙයි…
ලබන අවුරුද්ද…

Wedding එකෙන් පස්සේ…

ගෙදර හැදුවට පස්සේ…

හැමදේම හරි ගියාට පස්සේ…

ඇය හිනාවුණා.

ඒත් ඒ හිනාව ඇතුළේ තිබුණේ දුකක්.

දැන් මට තේරෙනවා…
මම අවුරුදු තුනක් ජීවත් වෙලා නැහැ…

මම අවුරුදු තුනක් බලාගෙන හිටියා…

ඇයගේ ඒ වචන ටිකට පස්සේ මම කිසිම දෙයක් කිව්වේ නැහැ.

මොකද…

ඇයට තේරෙන්න ඕන දේ ඒ මොහොතේ ඇයටම තේරිලා තිබුණා.

උපදේශනයට එන සමහර අයගේ ජීවිත නතර වෙලා තියෙන්නේ ප්‍රශ්න නිසාම නොවෙයි.

ජීවිතය පටන් ගන්න හොඳම දවස තවම ඇවිත් නැහැ කියලා අද ජීවිතය කල් දාන මිනිසුන් අපි අතර ඕන තරම් ඉන්නවා..

අපි ඒ දවස එනකම් බලාගෙන ඉන්නවා.

රැකියාවක් ලැබෙනකම්…

ගෙයක් හදනකම්…

සල්ලි ටිකක් එකතු වෙනකම්…

Wedding එක ගන්නකම්…

ළමයෙක් ලැබෙනකම්…

ඊට පස්සේ තමයි ජීවත් වෙන්නේ කියලා.

ඒත්…

සමහර වෙලාවට අපි බලාගෙන ඉන්න අතරේම,

ජීවිතය නිහඬව ඉස්සරහට යනවා.

ආයෙ කවදාවත් ආපහු නොඑන දවස්…

එකට එකතු වෙලා හදන්න තිබුණු මතක…

කතා කරන්න තිබුණු රාත්‍රීන්…

එකට හිනා වෙන්න තිබුණු මොහොතවල්…

අපි දැනගන්න කලින්ම අතහැරීලා යනවා.

ඒ කාන්තාවගේ කතාවෙන් පස්සේ…
මම ආපහු මගෙන්ම අහපු ප්‍රශ්නයක් තිබුණා, අපිත් ජීවිතය පටන් ගන්න බලාගෙන ඉන්න අතරේ…

අපේ ජීවිතය දැනටමත් පටන් අරගෙන ඉවරද?

Psychological Counselor
Kasun Rajapaksha

මම ඇයගෙන් එකම එක ප්‍රශ්නයක් ඇහුවා. ඔයා මට කියන්න… ඔහු ඔයාගෙන් ඉල්ලුවේ ආදරයද? නැත්නම්… උදව්ද?ඒ ප්‍රශ්නය ඇහුණ ගමන්…ඇයගේ මු...
20/07/2026

මම ඇයගෙන් එකම එක ප්‍රශ්නයක් ඇහුවා. ඔයා මට කියන්න… ඔහු ඔයාගෙන් ඉල්ලුවේ ආදරයද? නැත්නම්… උදව්ද?

ඒ ප්‍රශ්නය ඇහුණ ගමන්…

ඇයගේ මුහුණේ තිබුණු හැඟීම වෙනස් වුණා.

විනාඩි කිහිපයක් ඇය කිසිම දෙයක් නොකියා බිම බලාගෙන හිටියා.

මට දැනුණා…

මේ ප්‍රශ්නයට ඇය මීට කලින් කවදාවත් පිළිතුරක් හොයලා නැහැ කියලා.

ටික වෙලාවකට පස්සේ ඇය හිමින් කතා කරන්න පටන් ගත්තා.

එයා ඇත්තටම නරක මනුස්සයෙක් නෙවෙයි…

එයාට ජීවිතේ ප්‍රශ්න වැඩියි… එයාට කවුරුත් නැහැ…

මම නැත්නම් එයා විනාශ වෙයි, ඇය කතා කරගෙන ගියා.

මම නිහඬව අහගෙන හිටියා. ඒ හැම වාක්‍යයක්ම ඇහෙද්දී…

මට එක දෙයක් තේරුණා. ඇය තවමත් විස්තර කරන්නේ ඔහුව නෙවෙයි.

ඇය විස්තර කරන්නේ… ඇයගේ හිත ඇතුළේ ජීවත් වෙන ඔහුගේ ප්‍රතිරූපය.

අපි ආදරය කරන සමහර සම්බන්ධතා ඇතුළේ මෙන්න මේ දේ සිද්ධ වෙනවා.

අපි ආදරය කරන්නේ කෙනාගේ සැබෑ හැසිරීමට වඩා, අපේ හිත ඇතුළේ හදාගත්ත ඔහුගේ රූපයට.

එදා ඉඳලා අපි දකින්නේ ඇත්ත නෙවෙයි. අපි දකින්නේ… අපි විශ්වාස කරන්න කැමති දේ.

ඇය කතාව නතර කළා.

ඊට පස්සේ මම ඇයගෙන් ඇහුවා…

හරි… ඔබ කියන හැමදේම ඇත්ත කියලා අපි හිතමු.

ඔබ ඔහු වෙනුවෙන් හිටියා.

ඔහුගේ ප්‍රශ්නවලදී ඔහුව අතහැරියේ නැහැ.

ඔහු වැටුණ හැම වෙලාවකම ඔබ ඔහුව අල්ලගත්තා.

මම තවත් මොහොතක් නතර වුණා.

ඊට පස්සේ ඇහුවා…

ඒත්… ඔහුත් ඔබ වෙනුවෙන් ඒ විදිහටම හිටියද?

ඇය එකපාරටම උත්තර දුන්නේ නැහැ.

ඇයගේ ඇස් බිමට යොමු වුණා.

ඒ නිහඬකම…
වචන වලට වඩා ගොඩක් දේවල් කිව්වා.

මම ඇයට කිව්වා..

අපි සමහර වෙලාවට ආදරය මනින්නේ අපි කොච්චර දුන්නද කියන එක මත..

හැබැයි සම්බන්ධතාවයක සෞඛ්‍යය තීරණය වෙන්නේ අපි කොච්චර දුන්නද කියන එකෙන් නෙවෙයි.

අපි දෙන්නාම එකිනෙකා වෙනුවෙන් කොච්චර හිටියද කියන එකෙන්.

ඇය මගේ අදහස් අනුමත කිරීමට හිස වැනුවා..

ඇය හිස ඔසවා මගේ දිහා බැලුවා.

ඒ වෙලාවේ ඇයගේ මුහුණේ තිබුණේ කඳුළු නෙවෙයි…

හරියට මීට කලින් නොදැකපු දෙයක් දැක්කා වගේ හැඟීමක්.

හිමින් හිනා වෙලා ඇය මෙහෙම කිව්වා.

මට එක සිද්ධියක් මතක් වුණා…

මම හැම වෙලාවෙම හිතුවේ එයා ගොඩක් මහන්සි වෙනවා… ලොකු පීඩනයක ඉන්නෙ කියලා.

ඒ නිසා මම මගේ ප්‍රශ්න එයාට කියලා තවත් බරක් දෙන්න කැමති වුණේ නැහැ.

ටිකක් නිහඬ වෙලා ඇය ආයෙත් කතා කළා.

දවසක් මගේ අම්මා හදිසියේ අසනීප වෙලා Hospital එකේ නතර කළා.

මම එයාට කතා කළා.

එයා මුලින්ම ගොඩක් කලබල වුණා.

මොකද වුණේ?

බය වෙන්න එපා…

මම දන්න Doctorsලා ඉන්නවා. මම කතා කරන්නම්…

ඇය නැවතත් නිහඬ වුණා.

ඊට පස්සේ හිමින් කිව්වා…

ඇත්තටම… මට ඕන වුණේ ඒක නෙවෙයි...

අම්මාගේ වියදම් කරන්න මගේ අතේ සල්ලි තිබුණේ නැහැ.

මම බලාගෙන හිටියේ…

අඩුම තරමේ…

ඔයාගේ ගාව සල්ලි තියෙනවද කියලා අහයි කියලා...

මොකද ඒ වෙනකොට මගේ අතේ තිබුණු හැම රුපියලක්ම මම එයා වෙනුවෙන් වියදම් කරලා ඉවරයි.

ඒත්… මගේ අම්මා Hospital එකේ ඉද්දී, මට වියදම් කරන්න මගේ ගාව රුපියලක්වත් තිබුණේ නැහැ.

එදා තමයි… මම ජීවිතේ පළවෙනි වතාවට ඇත්තටම අසරණ වුණේ.

අඩුම තරමේ අම්මට කොහොමද කියලා පස්සෙවත් කතා කරලා ඇහුවේ නැහැ..

දවස් දෙකකට පස්සේ මම කතා කරද්දී කිව්වා අම්මා තාම Hospital ඉන්නේ කියලා..

ආ ඇත්තද අම්මට එච්චර අමාරුයිද කියලා ඇහු⁣වා..

හිතන්න එහෙම අහද්දි මම කොච්චර අසරණ වෙන්න ඇද්ද කියලා..

එදා මට තේරුණා…
මම බලාගෙන හිටපු කෙනා… මම බලාපොරොත්තු වුණු විදිහට මගේ ළඟ හිටියේ නැහැ කියලා..

ඒ මොහොතේ මට තේරුණා…

ඇය අහිමි කරගෙන තිබුණේ මුදල් විතරක් නෙවෙයි.

අවශ්‍යම මොහොතක තමන්ටත් කෙනෙක් ඉන්නවා කියන විශ්වාසයත්….

ඇය එහෙම කියලා නිහඬ වුණා.

මමත් ටික වෙලාවක් කිසිම දෙයක් කිව්වේ නැහැ.

ඊට පස්සේ මම හිමින් ඇහුවා…

ඔයාට එදා ඇයි වැඩියෙන්ම රිදුණේ?

එයා සල්ලි දුන්නේ නැති එකද…

නැත්නම්…

ඔයාට අවශ්‍යම වෙලාවේ, ඔයාට ඇත්තටම ඕන දේ එයාට නොතේරුණු එකද?

ඇය හෙමින් හුස්මක් ගත්තා.

මම කවදාවත් ඒ විදිහට හිතලා තිබුණේ නැහැ.

මම හැම වෙලාවෙම එයාගේ අවශ්‍යතා තේරුම් ගන්න උත්සාහ කළා.

ඒත්…

එයා කවදාවත් මගේ අවශ්‍යතා තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ...

මම ඇයට මෙහෙම කිව්වා.

ආදරය කියන්නේ හැම වෙලාවෙම දෙන කෙනා කවුද කියන එක නෙවෙයි.

අනිත් කෙනාට අවශ්‍යම වෙලාවේ… එයාට ඇත්තටම මොනවද ඕන කියලා දකින්න පුළුවන් ද කියන එකයි.

ඇය නිහඬව අහගෙන හිටියා.

ඊට පස්සේ මම පොතක් අරගෙන වචන දෙකක් ලිව්වා.

ඔහුට අවශ්‍ය දේ

ඔබට අවශ්‍ය දේ

මම ඇයට කිව්වා…

අපි අද මේ දෙක වෙන වෙනම ලියමු.

ඔබ මුලින්ම ලියන්න… ඔහුට අවශ්‍ය වුණ දේවල්.

ඇය ලියන්න පටන් ගත්තා.

සල්ලි…
කෙනෙක් අහගෙන ඉන්න එක…
ප්‍රශ්නවලදී ළඟ ඉන්න කෙනෙක්…
ණය ගෙවගන්න උදව්…
හැම වෙලාවෙම ඔහුව විශ්වාස කරන කෙනෙක්…

මම හිස වැනුවා.

ඊට පස්සේ කිව්වා…

හොඳයි… දැන් ඔබට අවශ්‍ය වුණ දේවල් ලියමු..

ඇය පෑන අතේ තියාගෙනම නිහඬ වුණා.

ටික වෙලාවකට පස්සේ හිමින් ලිව්වේ…

මට ඇහුම්කන් දෙන කෙනෙක්…
මගේ දුක තේරුම් ගන්න කෙනෙක්…
ආරක්ෂාව…
විශ්වාසය…

ඇය එතනම නතර වුණා.

මම ඇහුවා… තව මොනවද?

ඇය හෙමින් හිනා වුණා.

මම මං ගැන කවදාවත් හිතලා නැහැ වගේ…

ඒ මොහොතේ මට තේරුණා… ඇයගේ ලැයිස්තු දෙකේ වෙනස තිබුණේ වචනවල නෙවෙයි.

අවධානය තිබුණේ එක පැත්තකට විතරයි.

ඇය වසර ගණනාවක් වැය කරලා තිබුණේ… ඔහුට අවශ්‍ය දේ තේරුම් ගන්න.

ඒත්…

තමන්ට අවශ්‍ය දේ අහන්නවත් ඇය නතර වෙලා තිබුණේ නැහැ...

ඇයි සමහර මිනිස්සු හැම වෙලාවෙම අනිත් කෙනාගේ අවශ්‍යතා මුලින්ම දකින්නේ? ඇයි තමන්ගේ අවශ්‍යතා අන්තිමට දාන්නේ?

ඇයගේ වචන අහගෙන මම ටික වෙලාවක් නිහඬව හිටියා.

ඊට පස්සේ මම ඇයට තවත් එකම එක ප්‍රශ්නයක් ඇහුවා.

ඔයාගේ දුව… නැත්නම් ඔයා ගොඩක් ආදරේ කරන නංගි කෙනෙක්… මේ වගේම සම්බන්ධතාවයක ඉන්නවා නම්… ඔයා එයාට මොනවා කියයිද?

ඇය එකපාරටම මගේ දිහා බැලුවා.

ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඇය ඉක්මන් වුණේ නැහැ.

ටික වෙලාවකට පස්සේ…

ඇය දුන්න උත්තරය…

අපේ උපදේශන සැසියේ දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

ඒ උත්තරයෙන් පස්සේ තමයි… ඇය පළවෙනි වතාවට තමන්ගේ ජීවිතය අලුත් ඇසකින් බලන්න පටන් ගත්තේ.

ඒ ගැන…

ඊළඟ කොටසින් කතා කරමු.

Psychological Counselor
Kasun Rajapaksha..










19/07/2026

අපි කෙනෙක්ට උදව් කරනවා කියලා හිතන සමහර වෙලාවට…

ඇත්තටම අපි කරන්නේ එයාගේ ප්‍රශ්නය දිගටම පවත්වාගෙන යන්න උදව් කරන එක වෙන්න පුළුවන්.

ආදරය කියන්නේ කෙනෙක් වෙනුවෙන් කැප වෙන එක කියලා අපි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

ඒ නිසා එයා අමාරුවක වැටුණොත් අපි උදව් කරනවා.

ආයෙත් අමාරුවක වැටුණොත්…

ආයෙමත් උදව් කරනවා.

ටික කාලයක් ගියාම…

අපිට නොදැනීම අමුතු දෙයක් සිද්ධ වෙනවා.

එයාගේ ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ.

හැබැයි…

අපේ ජීවිතය ටිකෙන් ටික හිස් වෙන්න පටන් ගන්නවා.

සමහර වෙලාවට…

අපි බේරගන්න උත්සාහ කරන්නේ අනිත් කෙනාව කියලා හිතුවට,

ඇත්තටම ගිලිහෙමින් තියෙන්නේ අපේ ජීවිතය..

ඒ නිසා…
ආදරය කියන්නේ බේරාගැනීමද,
නැත්නම් එකට වර්ධනය වීමද කියලා
ඔබත් ඔබෙන් අහලා බලන්න.

Psychological Counselor
Kasun Rajapaksha






මට අදත් මතක් වෙන්නේ අවුරුදු ගණනකට කලින් උපදේශනය සඳහා මා හමුවීමට පැමිණි ඒ කාන්තාවගේ කතාවයි.ඇය මගේ ඉදිරිපිට නිහඬව වාඩිවෙලා...
16/07/2026

මට අදත් මතක් වෙන්නේ අවුරුදු ගණනකට කලින් උපදේශනය සඳහා මා හමුවීමට පැමිණි ඒ කාන්තාවගේ කතාවයි.

ඇය මගේ ඉදිරිපිට නිහඬව වාඩිවෙලා හිටියා.

ටික වේලාවක් කිසිම දෙයක් නොකියා හිටපු ඇය, හදිසියේම මෙහෙම කිව්වා.

මේ තමයි මට හරි යනම කෙනා කියලා මම හිතුවා…

ඒ වාක්‍යයෙන් පස්සේ ඇය දිගින් දිගටම ඔහු ගැන කියවන්න පටන් ගත්තා.

මම පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන හැම ගුණාංගයක්ම එයා ළඟ තිබුණා… එහෙම නැත්නම්… තිබුණා කියලා මම විශ්වාස කළා. ඇත්තටම ඒ හැමදේම මම දැනගත්තේ එයාම එයා ගැන මට කියපු කතාවලින්...

අපි අතර ආදර සම්බන්ධයක් ඇති උනා ටික කාලයක් යද්දී. ඒ වෙද්දී මට ඔහු ගැන ඇති වෙච්ච හැඟීම් හරිම පුදුමාකාරයි හිතට මනසට ඒවා ඉතාමත් සහනශීලි මාව නිතර උද්යෝගයට පත් කරා..

මම ඒ දවස්වල දවස පටන් ගත්තේ පුදුමාකාර සැහැල්ලුවකින්. මොකද ඒ වෙනකොට මට හරි යන කෙනා මට හමු වෙලා ඉන්නෙ කියන විශ්වාසය මට තිබුණ නිසා..

උදේ ඇහැරෙන ගමන් මම කලේ phone එක අතට ගන්න එක. එයාගෙන් message එකක් ඇවිත් තිබුණොත් ඒ දවසම වෙනස් වුණා වගේ දැනුණා. ලෝකයම ටිකක් ආරක්ෂිත තැනක් වුණා වගේ…

එයා මුල් දවස්වල මට කිව්වේ සහ විස්තර කරේ එයා සල්ලි හම්බ කරන්න මුදල් ආයෝජනය කරපු හැටි, බිස්නස් එක දියුණු කරපු හැටි ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච හැටි ගැන..

හම්බ කරපු සල්ලි වලින් කරපු හොද දේවල් අනාගතයේ කරන්න ඉන්න දේවල් ගැන..

ගෙයක් හැදුවා, වාහයක් ගත්තා, හොද ඉඩමක් ගත්තා, මේවා කියද්දි මට ඇති උනේ මොහු මොන තරම් උත්සාවන්ත ධෛර්වන්ත පිරිමියෙක්ද කියන එක. හම්බ කරන එක රුපියලක්වත් අපතේ නොයවා ඉතුරු කරමින් කටයුතු කරන ආකාරය ගැන මගේ හිතේ ඔහු ගැන ඇති කරේ පුදුම ගෞරවයක්..

ගෙයක් හැදුවා… වාහනයක් ගත්තා… හොඳ ඉඩමක් මිලදී ගත්තා… බිස්නස් එක දියුණු කරපු හැටි… ඔහු ඒ හැමදේම මට කියා දුන්නේ ලොකු ආඩම්බරයකින් නොවෙයි. සරලව, තමන් ජීවිතය ගොඩනගා ගත්ත කෙනෙක් විදිහට.

ඔහුගේ කතාව අහන හැම මොහොතකම, මගේ හිතේ ඔහු ගැන ඇති වුණේ එකම හැඟීමයි.

මේ මොන තරම් උත්සාහවන්ත, වගකීම් සහගත, අනාගතයක් ගැන හිතන පිරිමියෙක්ද…

ඔහු මුදල් ගැන කතා කළේ ධනය පෙන්නන්න නොවෙයි. මුදල් උපයපු හැටි, ඉතිරි කරපු හැටි, ආයෝජනය කරපු හැටි ගැන කතා කළා.

ඒ හැම වචනයක්ම මගේ හිතේ ඔහු ගැන තිබුණු ගෞරවය තව තවත් වැඩි කළා.

ටිකෙන් ටික මම ඔහුට ආදරය කළා ඔහුට විතරක් නෙවෙයි…

ඔහුත් එක්ක මම මගේ අනාගතයටත් ආදරය කරන්න පටන් ගත්තා.

අපි දෙන්නා ජීවත් වෙන ගෙයක් මගේ හිත ඇතුළේ හැදෙන්න පටන් ගත්තා.

සති අන්තයේ කොහේ හරි ගිහින් තේ එකක් එකට බොන අපි දෙන්නා…

වැඩ ඇරිලා ගෙදර එන ඔහු…

ඉස්සරහට ඉගෙන ගන්න දරුවෝ…

මම ඒවා කාටවත් කිව්වේ නැහැ.

ඒත් මගේ හිත ඇතුළේ ඒ ජීවිතය දවසෙන් දවස සැබෑ වෙමින් තිබුණා.

ඒ නිසා, මම ඔහුට විශ්වාසය දුන්නේ ඔහු ඉල්ලපු නිසා විතරක් නෙවෙයි.

මම විශ්වාස කළේ, ඒ අනාගතය ආරක්ෂා කරගන්න.

ඔහොම කාලය ගෙවෙද්දී ඔහුගේ කතාවලත් ටිකෙන් ටික වෙනසක් පේන්න පටන් ගත්තා.

මුලින්ම ඒවා හරිම සාමාන්‍ය වගේ දැනුණා.

මේ දවස් ටිකේ business එක ටිකක් down…

මම කරපු investment එකක් හරියට ගියේ නැහැ…

ටික දවසකින් ඔක්කොම හරි යයි…

මට ඒවා අමුතු විදිහට දැනුණේ නැහැ.

මොකද මගේ හිතේ ඔහු තවමත් වගකීම් සහගත, උත්සාහවන්ත, ජීවිතය ගොඩනගපු පිරිමියෙක්.

ඒ නිසා මේකත් ජීවිතයේ තාවකාලික පසුබෑමක් විතරයි කියලා මම හිතුවා.

ඒත්… ඊට පස්සේ ඔහුගේ කතාවලට අලුත් වාක්‍යයක් එකතු වෙන්න පටන් ගත්තා.

මට අහවල් දවසට මේ මුදල හොයාගන්න බැරි වුණොත් මම ඉවරයි…

එක දවසක් රෑ එයා call එකක් ගත්තා.

වෙනදා වගේ නෙවෙයි…

කටහඬත් වෙනස්.

මට ඔයාගෙන් උදව්වක් ඕනේ…

ඒ වචන ටික ඇහෙද්දීත් මම හිතුවේ, මම ආදරය කරන මනුස්සයා අමාරුවක වැටිලා කියලා.

මේ පාර විතරක් මට උදව් කරන්න…

මම කවදාවත් මේ උදව්ව අමතක කරන්නේ නැහැ…

ඒ වාක්‍ය ඇහෙද්දී, මම මුදල් ගැන හිතුවේ නැහැ.

මම හිතුවේ… මම ආදරය කරන මිනිහා අමාරුවක වැටිලා කියලා.

හරි ඔයාට ඕන කීයක්ද මම කෙලින්ම එයාගෙන් ඇහුවා..

මට මෙච්චර ගාණක් තිබුණොත් ඇති..

අහ් එයා ඉල්ලුපු ගාණ වගේ හතර පස් ගුණයක් මගේ accounts වල තිබුණා..

මම මහන්සි වෙලා එකතු කරපු සල්ලි කොච්චර තිබුණාද කියලා, රුපියල් සත ගාණටම මගේ මතකයට ආවා.

ඒ සල්ලි එකතු කරන්න මම අවුරුදු ගණනක් මහන්සි වෙලා තිබුණා.

ඒත්… ඒ මොහොතේ ඒ සල්ලි ගැන මට දුකක් දැනුණේ නැහැ.

මගේ හිතේ තිබුණේ එකම එක සිතුවිල්ලයි.

මම ආදරය කරන මිනිහව මේ අමාරුවෙන් ගොඩ ගන්න පුළුවන් නම්?

හරි… ඔයාට කොච්චර ඕනද?

මම එහෙම ඇහුවේ දෙවරක් හිතලා නෙවෙයි.

ඒ වෙලාවේ මට දැනුණේ අහිමි වීමක් නෙවෙයි.

අමුතු සතුටක්.

අපේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙන මනුස්සයට, අද මටත් පුළුවන් උදව්වක් කරන්න…

මෙච්චර සල්ලි හම්බ කරන මනුස්සයකුට මේ වගේ පොඩි ගණනක අතමාරුවක් ඕන වීම ගැන මම පුදුම උනත්.. මට ඒ වෙලාවවේ ඒක හරි දෙන්න ලැබීම ගැන ඇති උන ආඩම්බයෙන් මම ඒක අමතක කරලා දැම්මා..

ඔහොම කාලය ගෙවිලා ගියා..

මගෙන් ගත්ත මුදල් ආයේ දෙන්න ඕන කියලා ඔහු කිහිප වරක් මතක් කරත් ආ ඒක පස්සේ බලමු කියලා මම ඔහුට කිව්වා..

අපි ඒක පස්සේ විසදා ගමු, දැන් ඔයා හොදින් වැඩ කටයුතු කරන්න..

අපි අතර මගේ එයාගේ කියලා දේවල් තියනවට මම අකමැති නිසා නැවත ඒ මුදල් ලබා ගන්න මම අදිමදි කරා..

මගේ දේවල් එයාගෙත් දේවල් තමයි එච්චරයි...

එයාට දෙනවා කියන හැඟීමක් මට තිබුණේ නැහැ. අපේ ජීවිතයේ එක තැනකින් තවත් තැනකට මුදල් ගියා විතරයි කියලා මට හිතුණා...

ඔහොම කාලය ගත වෙද්දී මමත් නොදැනුවත්වම මගේ accounts වල තිබුණ සල්ලි සියල්ල විවිධ හේතු කියලා ඔහු විසින් වරින් වර මගෙන් ඉල්ලා ගත්තා..

⁣ගේ ගත්තේ ලෝන් එකක් අරන්,

වාහනයේ finance එක මාසෙකට මෙච්චර තියනවා,

අර බැංකුවෙන් මේ බැංකුවෙන් මෙච්චර ලොකු ණයක් අරන් තියනවා, අතනින් මෙච්චර පොලියට අරන් තියනවා, අහල් යාලුවන්ගෙන් මෙච්චර ණයට අරන් තියනවා..

දැන් මම ඔයාට ලක්ෂ මෙච්චර ණයයි..

බලන් ගියාම මේ සේරම එයාගේ සල්ලි වාහන දේපල නෙවෙයි වගේ, ණය වාරික පොලී ගෙව ගෙවා එයා ඒ දේවල් පාවිච්චි කරනවා විතරයි වගේ නේද කියලා මට හිතුණා..

එයා ගැන මම දැනගෙන හිටපු කතාවයි, ටිකෙන් ටික මට පේන්න ඇහෙන්න පටන් ගත්ත කතාවයි එකිනෙකට ගැළපුණේ නැහැ.

මම හිතපු ධනවත් මිනිහා ඇත්තටම ණය ගෙවමින් ජීවත් වෙන මිනිහෙක්ද කියලා මට පළමු වතාවට හිතුණා...

මගේ ගාව අන්තිමට මට ඉතුරු උනේ මගේ මාසේ වැටුප විතරයි, අන්තිමට මගේ කණ කර බඩු උගස් කරන්න අතනින් මෙතනින් ණයට අරන් දෙන්න කියන තත්වයට ඔහු පත් උනා, ඔහු කියන කියන විදියට මමත් සල්ලි හොයලා දෙන තත්ත්වයට මම පත් උනා..

අන්තිමට මමත් ඔහු වගේම රටට ලෝකෙට ණයකාරියක් උනා..

නමුත් කවදාවත් ඔහු සහ මම අතර ජීවන තත්වයේ පරතරය වෙනස් උනේ නැහැ,

මම හිටපු තත්වයෙන් පහළට වැටුණා.. නමුත් ඔහු තවමත් තවන්ගේ තත්ත්වය maintain කරගෙන යනවා..

එයාව බාහිරින් දකින කිසිම කෙනෙක්ට තේරෙන්නේ නැහැ එයා ඉන්නෙ ණය කන්දක් උඩ කියලා..

ඔහු ඔහු වෙනුවෙන් ණය වෙලා තවම ලොකු වාහනයක් පදිනවා, ලක්ෂ ගණන් වටිනා පෝන් පාවිච්චි කරනවා ලක්ෂ ගණන් වටිනා ආභරණ පළදිනවා branded ඇදුම් පැලදුම් භාණ්ඩ පාවිච්චි කරනවා.. ලොකු ගෙදරක ජීවත් වෙනවා..

ඒත් මම ඔහු වෙනුවෙන් ණය වෙලා පයින් යනවා ටැක්සි වල යනවා පරණ ඇදුම් අදිනවා, පරණ පෝන් එකක් පාවිච්චි කරනවා..

මම සාමාන්‍ය තේ කඩයකින් කහ⁣ට එකක් බොනවා කෑම එකක් කනවා..

ඔහු තරු පහේ හෝටල් වල යාලුවන් එක්ක පාටි දමනවා..

මම මං වෙනුවෙන් මුකුත් කරගෙන නැහැ කරන්නේ නැහැ, කරපුවත් ඔහුටම දීලා ඉවරයි..

රෑට හොදටම බීලා බීලා උදේට පිස්සුවෙන් වගේ මට කතා කරලා මට අච්චර ඕන මෙච්චර ඕන කියලා මට දුක කියනවා..

කලින් දවසේ එයාගේ නාස්තිකාර වියදම් සෝබන වැඩ දැකලා ආයේ මැරුණත් රුපියලක් දෙන්නේ නැහැ කියලා හිත දැඩි කරගෙන තීරණ ගන්නවා

ඒ තීරණය ගන්න මට හේතු ඕන තරම් තිබුණා.

එයාගේ අලුත් phone එක මම දැක්කා.

යාලුවෝ එක්ක hotel වල ගිය photo මම දැක්කා.

ඒ හැමදේම දැකලා මට තරහ ගියා.

හැබැයි…

පහුවදා උදේ හතට phone එක නාද වෙනවා.

මට ඔයාව විතරයි ඉන්නේ…

ඒ වාක්‍යය ඇහුණම…

මම ආයේත් මගේම තීරණය වෙනස් කරනවා..

මම කොහොම හරි එයාට උදව් කරනවා...

ඉස්සර දවස්වල උදේට එන එයාගේ call එක මගේ දවස ලස්සන කරපු දෙයක්.

ඒ call එක ආවම මට දැනුණේ…

කවුරුහරි මාව ආදරෙන් මතක් කරනවා…

ඒත් ටිකෙන් ටික ඒ call එකේ තේරුම වෙනස් වෙන්න පටන් ගත්තා.

ඉස්සර මාව බලන්න ගත්ත call එක…

දැන් එයාගේ ප්‍රශ්නයක් කියන්න ගන්න call එකක් වෙලා.

මට ඒ වෙනස මුලින්ම තේරුණේ නැහැ.

ඒත් පස්සේ මම රටාවක් දැක්කා.

උදේ පාන්දර phone එක නාද වුණොත්, මගේ හිත ගැස්සෙන්න පටන් ගත්තා.

ඒ කියන්නේ…

අදත් අලුත් ප්‍රශ්නයක්.

අදත් අලුත් ණයක්.

අදත් කවුරුහරි සල්ලි ඉල්ලනවා.

අදත් finance එකක් ගෙවන්න තියෙනවා.

අදත් බැංකුවෙන් call එකක් ඇවිත්.

අදත් කවුරුහරි එයාව පීඩනයට පත් කරලා..

👩‍🏫එයාට මාව මතක් වුණේ…

එයාට මාව ඕන වුණ වෙලාවට විතරක්ද කියලා මම මගෙන්ම අහන්න පටන් ගත්තා.

හැබැයි ඒ ප්‍රශ්නය අහපු හැම වතාවකම, එයාගේ කටහඬේ තිබුණු අසරණකම මගේ පිළිතුර වෙනස් කළා.

මට ඔයාව විතරයි ඉන්නේ…

ඒ වාක්‍යය…

මම ගත්ත හැම තීරණයක්ම ආපස්සට හැරෙව්වා..

එයාට මාව මතක් වුණේ…

එයාට මාව ඕන වුණ වෙලාවට විතරක්ද කියලා මම මගෙන්ම අහන්න පටන් ගත්තා.

හැබැයි ඒ ප්‍රශ්නය අහපු හැම වතාවකම, එයාගේ කටහඬේ තිබුණු අසරණකම මගේ පිළිතුර වෙනස් කළා.

මම බේරගන්න උත්සාහ කරන්නේ අමාරුවක වැටිලා ඉන්න මනුස්සයෙක් කියලා.

ඒත්…

මම දැනගෙන හිටියේ නැහැ.

ඇත්තටම ටිකෙන් ටික ගිලිහෙමින් තිබුණේ ඔහුගේ ජීවිතය නෙවෙයි…

මගේ ජීවිතය කියලා...

🫵ඒ මොහොතේ මම ඇය දෙස බලාගෙන හිටියේ නිහඬවයි.

මොකද ඒ වෙද්දී ඇය අහිමි කරගෙන තිබුණේ මුදල් විතරක් නෙවෙයි.

ඇයගේ විශ්වාසය…

ඇයගේ ආරක්ෂාව…

ඇයගේ ජීවිතය ගැන තිබුණු සැලසුම්…

ඒ හැමදේම ටිකෙන් ටික කඩා වැටිලා තිබුණා.

ඒත් මේ කතාව එතැනින් අවසන් වුණේ නැහැ.

ඇයට තේරුම් ගන්න තිබුණු ලොකුම සත්‍යය වූයේ…
ඇය බේරගන්න උත්සාහ කරමින් සිටියේ ඔහුවද… නැත්නම් ඇයගේම සිහිනයක්ද කියන එකයි.

ඒ අවබෝධය ඇයගේ ජීවිතය වෙනස් කළේ කොහොමද කියන කතාව මීළඟ ලිපියෙන්…

ඊළඟ ලිපියෙන්, මනෝ උපදේශන ක්‍රියාවලිය තුළ ඇයට මේ සම්බන්ධය අලුත් ඇසකින් දකින්න අපි උත්සාහ කළේ කොහොමද, ඇයගේ හිතේ මේ පුද්ගලයා ගැන තිබුණු ප්‍රතිරූපය සහ ඔහුගේ සැබෑ හැසිරීම් අතර තිබුණු පරස්පරතාව ඇයට ක්‍රමයෙන් තේරුම් ගන්න උදව් කළේ කොහොමද, ඒ අවබෝධය ඇයගේ ජීවිතය වෙනස් කළේ කොහොමද කියන කතාව ගැන මීළඟ ලිපියෙන් ලියන්නම්..

Psychological Counselor
Kasun Rajapaksha..









fans

❤️‍🩹ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දාර්ශනිකයෙකු වන ප්ලෝටෝ  ඔහුගේ The Republic කෘතිය හරහා මිනිස් සංහතියටම පොදු සත්‍යයක් පැ...
12/07/2026

❤️‍🩹ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දාර්ශනිකයෙකු වන ප්ලෝටෝ ඔහුගේ The Republic කෘතිය හරහා මිනිස් සංහතියටම පොදු සත්‍යයක් පැහැදිලි කරන්න අපූරු උපමාවක් භාවිත කළා.

🌑ඒ තමයි ලෝක ප්‍රකට ගුහාවේ උපමාව

අදින් වසර 2400කට පෙර ලියැවුණු මේ කතාව, එදාටත් වඩා අද වත්මන් ඩිජිටල් සහ සමාජීය ලෝකයට කොතරම් දුරට ගැළපෙනවාද කියා සිතා බලන්න.

🌏ප්ලෝටෝගේ මුල් අරමුණ දැනුම, සත්‍යය සහ අවිද්‍යාව පිළිබඳ දාර්ශනික විග්‍රහයක් ඉදිරිපත් කිරීම වුවද, එම උපමාව නූතන මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් කියවීමේදී, මිනිස් මනස, සබඳතා සහ ආදරය පිළිබඳ ගැඹුරු අර්ථ රැසක් හඳුනාගත හැක...

කතාව ආරම්භ වන්නේ අඳුරු භූගත ගුහාවකින්. උපතින්ම මෙහි ජීවත් වන සිරකරුවන් පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ බෙල්ල සහ දෙපා දම්වැල්වලින් බැඳ තබා ඇති නිසා, ඔවුන්ට හැරී බැලීමට හෝ හිස හැරවීමට හැකියාවක් නැහැ. ඔවුන්ට පෙනෙන්නේ තමන් ඉදිරියෙන් ඇති කළු පැහැති හිස් බිත්තිය පමණයි.

මෙම සිරකරුවන්ට පිටුපසින් විශාල ගින්නක් දැල්වෙනවා. ඒ ගින්න සහ සිරකරුවන් අතර උස් වේදිකාවක් වැනි මාවතක් තිබෙනවා. ඒ මාවත හරහා විවිධ මිනිසුන්, සතුන්ගේ සහ වස්තූන්ගේ රූප රූකඩ මෙන් රැගෙන ගමන් කරනවා.

මෙම ගින්නේ ආලෝකය නිසා, අර රැගෙන යන වස්තූන්ගේ හෙවනැලි සිරකරුවන් ඉදිරියේ ඇති බිත්තිය මත පතිත වෙනවා.

උපතේ සිටම මේ දේ පමණක් දකින සිරකරුවන් සිතන්නේ තමන් ඉදිරියේ පෙනෙන ඒ චලනය වන හෙවනැලි සහ ඇසෙන ශබ්ද තමයි මේ විශ්වයේ ඇති එකම සැබෑ ලෝකය කියායි.

දිනක් මේ සිරකරුවන්ගෙන් එක් අයෙකුගේ දම්වැල් වලින් ගැලවී ඔහුට නිදහස ලැබෙනවා. ඔහු පළමුවරට නැගී සිට පස්ස හැරී බලනවා.

ගින්නේ ආලෝකය කෙළින්ම ඇසට වැදීම නිසා ඔහුගේ ඇස් දැඩි ලෙස රිදෙන්නට පටන් ගන්නවා. බිත්තිය මත වැටුණු හෙවනැලිවලට වඩා, තමන් පිටුපස ඇති වස්තූන් සැබෑ බව වටහා ගැනීමට ඔහුගේ මනස මුලදී මැලිකමක් දක්වනවා.

කෙසේ හෝ ඔහු අපහසුවෙන් ගුහාවෙන් ඉවතට ගොස්, සැබෑ ලෝකයට පැමිණෙනවා. සැබෑ සූර්යාලෝකය දුටු සැනින් ඔහුගේ ඇස් සම්පූර්ණයෙන්ම නිලංකාර වී යනවා. නමුත් ක්‍රමයෙන් ඔහුගේ ඇස් ආලෝකයට හුරු වූ පසු, ඔහු වටපිට බලනවා.

ඔහු සැබෑ ගස්වැල්, ඇළදොළ, තරු පිරි අහස සහ අවසානයේ සූර්යයා දෙස කෙළින්ම බලා සිටීමට ඉගෙන ගන්නවා. තමන් මෙතෙක් කල් ගුහාව තුළ දැක්කේ සැබෑ ලෝකය නොව, හුදු රැවටීම් හා ජායාවන් පමණක් බව ඔහුට වැටහෙන්නේ එවිටයි. ඔහු උපරිම නිදහසක් සහ ප්‍රඥාවක් අත්විඳිනවා.

ලැබූ ප්‍රඥාවෙන් සතුටට පත්වන ඔහු, ගුහාවේ තවමත් සිරවී සිටින තමන්ගේ මිතුරන් පිළිබඳව අනුකම්පා කරනවා. ඔවුන්වද නිදහස් කර ගැනීමේ අරමුණින් ඔහු නැවතත් අඳුරු ගුහාව තුළට යනවා.

එළිමහනේ සිට පැමිණි නිසා අඳුරට හැඩගැසීමට ඔහුගේ ඇස්වලට මඳ වේලාවක් ගත වෙනවා. ඔහු අනෙක් සිරකරුවන්ට පවසනවා,

යාලුවනේ, ඔබ ඔය දකින්නේ ඇත්ත ලෝකය නෙවෙයි. ඕවා නිකන්ම නිකන් හෙවනැලි විතරයි. එළියේ මීට වඩා ලස්සන සැබෑ ලෝකයක් තියෙනවා. මාත් එක්ක එන්න කියා.

🤦නමුත් සිදු වන්නේ කුමක්ද?

අනෙක් සිරකරුවන් සිතන්නේ අඳුරේදී ඔහුගේ ඇස් නොපෙනෙන බවයි. ඔවුන් සිතන්නේ ගුහාවෙන් එළියට යාම නිසා ඔහුගේ මොළය අවුල් වී ඇති බවයි. ඔවුන් ඔහුව පිස්සෙකු ලෙස සලකා සමච්චල් කරනවා.

ඔහු තමන්ව නිදහස් කිරීමට දම්වැල් ගැලවීමට උත්සාහ කළහොත්, ඔහුව මරා දැමීමට පවා ඔවුන් පෙළඹෙනවා.

ප්ලෝටෝ මේ උපමාවෙන් අදහස් කළේ මිනිස් වර්ගයාගේ පවතින අනුවණකම, අප සිතා සිටින දෙය සහ සැබෑව අතර වෙනසයි...

ප්ලේටෝගේ ගුහාව පිලිබඳ උපමාව දර්ශනවාදී සංකල්පයක් පමණක් නොවේ. එය මිනිස් මනස, සබඳතා හා ආදරය පිලිබඳ මනෝවිද්‍යාත්මකව මනාව පැහැදිලි කරන කැඩපතක් විදියටත් හදුන්වන්න පුළුවන්..

🧠අපේ මනස සකස් වී ඇති ආකාරය සහ අප ආදරය අත්දකින ආකාරය මෙම උපමාව ඇසුරින් මනෝවිද්‍යාත්මකව විග්‍රහ කරනවා නම්....

මෙහි ගුහාව සහ සෙවණැලි මගින් මනසේ ප්‍රක්ෂේපණයන් සහ ව්‍යාජ ආදරය පෙන්නුම් කරන්න පුළුවන්..

🕵️‍♂සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව..

මිනිස් මනස බොහෝ විට තමන්ට පිළිගැනීමට අපහසු ආශාවන්, බිය, කෝපය සහ ළමා කාලයේ නොවිසඳුණු ගැටුම් යටිසිත තුළට තල්ලු කර (repression) තබා ගනී. එහෙත් ඒවා අතුරුදන් නොවේ. ඒ වෙනුවට, ඒවා වෙනත් පුද්ගලයන් මත ප්‍රක්ෂේපණය (projection) වීමට පටන් ගනී.

එවිට අප අනෙකා තුළ දකින්නේ ඔහු හෝ ඇය සැබවින්ම කවුරුන්ද යන්නට වඩා, අපගේම යටිසිතේ නොවිසඳුණු ආශාවන්, බිය සහ අභ්‍යන්තර ගැටුම්වල ප්‍රතිබිම්බයකි. ප්ලෝටෝගේ ගුහාවේ බිත්තිය මත පෙනෙන සෙවණැලි මෙන්ම, අපගේ මනසද සැබෑවට වඩා යටිසිත නිර්මාණය කළ රූපයක් අපට පෙන්වයි.

🕵️‍♀කාල් යුංගේ අදහස අනුව..

මිනිසා බාහිර ලෝකය දෙස බලන්නේ ඔහුගේ අභ්‍යන්තර මනෝලෝකය හරහාය. ඔහු විස්තර කළ Shadow (සෙවණැල්ල), Anima සහ Animus වැනි සංකල්පවලින් පෙන්වන්නේ, අප හඳුනා නොගත් අපේම කොටස් අනෙක් පුද්ගලයන් මත ප්‍රක්ෂේපණය වන ආකාරයයි.

බොහෝ විට අප ආදරය කරන පුද්ගලයා තුළ අප දකින්නේ ඔවුන්ගේ සැබෑ ස්වභාවය නොව, අපේම මනස විසින් නිර්මාණය කළ පරමාදර්ශී රූපයකි. එබැවින්, අප ඇතැම් විට ආදරය කරන්නේ පුද්ගලයාට නොව, ඔහු හෝ ඇය මත අපේ මනස ප්‍රක්ෂේපණය කළ සෙවණැල්ලටය.

ප්ලේටෝගේ කතාවේ එන ගුහාවේ බිත්තිය මත පෙනෙන සෙවණැලි හරියට අපේ මනස විසින් ආදරය සම්බන්ධයෙන් මවන ව්‍යාජ ප්‍රතිරූප වැනිය.

ළමා කාලයේ බලපෑම, අප කුඩා කල ලැබූ කම්පන හෝ සපුරා නොගත් ආදරය නිසා, අපේ යටිසිත තුළ ආදරය යනු කුමක්දැයි මනස විසින් වැරදි චිත්‍රයක් නිර්මාණය කර තිබෙන්නට පුළුවන්..

මනසේ මායාවට රැවටිලා අප ආදරය කරන පුද්ගලයා දෙස බලන විට, අප දකින්නේ ඔවුන්ගේ සැබෑ ස්වභාවය නොවේ.

අපේ මනස විසින් ඔවුන් මත ප්‍රක්ෂේපණය කරන ලද පරමාදර්ශී සෙවණැල්ලයි.

🕵️‍♂ප්‍රංශ මනෝවිශ්ලේෂක ජැක් ලකාන්ගේ අදහස අනුව,

අප ආදරය කරන්නේ අනෙකාට නොව, අනෙකා තුළ අපේ ආශාවට පිළිතුරක් ලෙස අප නිර්මාණය කරන රූපයටය. ඒ නිසා බොහෝ විට අපට අහිමි වන්නේ පුද්ගලයා නොව, ඔහු ගැන අපේම මනස ගොඩනැගූ කතාවයි.

බිත්තියේ පෙනෙන සෙවණැල්ල අප කැමති පරිදි හැසිරෙන්නේ නැති විට නොසන්සුන් වනවා යම් සේද අපද සබඳතා සම්බන්ධයෙන් අනෙකා එසේ හැසිරේ යැයි අපේක්ෂා කරයි. එසේ නොවන විට කම්පා වේ, දුකට පත්වේ, මනසින් බිඳ වැටේ..

මෙහි ගුහාවේ සිටින මිනිසුන් බැඳ තබා ඇති දම්වැල් මගින් බොහෝ දෙනෙක් ආදරය යැයි සිතා වැළඳගන්නේ අනාරක්ෂිත සබදතා පෙන්නුම් කරන්න පුළුවන්..

මමත්වයේ සිරවීම..

අහිමි වීමේ බිය, අධික අයිතිවාසිකම් කීම සහ තනිකමට ඇති බිය වැනි හේතු නිසා අපව දම්වැලක් සේ ව්‍යාජ සබඳතාවල බැඳ තබයි.

ඇතැම් විට ගුහාවේ සිටින මිනිසුන් තමන් බැඳී සිටින බව දන්නා මුත්, එයින් මිදීමට බිය වෙති. මන්ද සෙවණැලි ලෝකය ඔවුන්ට හුරුපුරුදුය.

එලෙසම, විෂ සහිත සබඳතාවල සිටින මිනිසුන්ද මේ හේතුව නිසා එම අහිතකර රටාවන්ගෙන් මිදීමට අකමැති වෙති.

🫵ඇතැම් විට මෙම දම්වැල් ආදරය නොව, trauma bond එකකි. වේදනාව සහ ආදරය එකට බැඳී ඇති නිසා, නිදහස පවා භයානක දෙයක් ලෙස මනස අත්දකී...

🫵අප ආදරය කරන්නේ අනෙකාට නොව, අනෙකා තුළ අපේ ආශාවට පිළිතුරක් ලෙස අප නිර්මාණය කරන රූපයටය...

🫵ගුහාවෙන් මිදීම යනු යම් පුද්ගලයෙකු දම්වැල් බිඳගෙන ගුහාවෙන් හැරී බලන අවස්ථාව යම් පුද්ගලයකු තම සබදතාව තුල ස්වයං අවබෝධය ලබන අවස්ථාවට සමානය.

💪මෙම හැරවුම පහසු නැත.

එනම්, තමන් මෙතෙක් කල් සත්‍යය යැයි විශ්වාස කළ දේ අසත්‍යයක් බව වැටහෙන විට ඇති වන මානසික නොසන්සුන්තාවයයි.

සූර්යාලෝකය දෙස බැලීමෙන් එනම් ආලෝකය දෙස බැලීමෙන් සන්කේතවත් වන්නේ මමත්වය බිඳ වැටීම සහ පරිණත ආදරය යනු කුමක්දැයි තේරුම් ගැනීමයි.

ගුහාවෙන් එළියට ආ මිනිසාට මුලින්ම සූර්යාලෝකය දෙස බැලිය නොහැක. ඇස් නිලංකාර වේ, වේදනාවක් දැනේ. මනෝවිද්‍යාත්මකව මෙය මමත්වය බිඳ වැටීමේ ක්‍රියාවලියයි.

🤔ඔබ ආදරය කරන්නේ ඇත්තටම එම පුද්ගලයාටද?

🤔නැත්නම් ඔහු ගැන ඔබේ මනස නිර්මාණය කළ කතාවටද?..

❣️සැබෑ ආදරය යනු කැඩපතකි.

එය අප ඉදිරියට එන විට, අප සඟවාගෙන සිටින අපේම ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව සහ දුර්වලතා අපට පෙනෙන්නට ගනී. එම සත්‍යය දෙස බැලීම මානසිකව වේදනාකාරී වුවද, සැබෑ චිත්තවේගීය පරිණතභාවය ඇති වන්නේ එතැනිනි.

🕵️‍♀එරික් ෆ්‍රොම් Erich Fromm

ඔහුගේ The Art of Loving කෘතියේ පෙන්වා දෙන පරිදි, පරිණත ආදරය යනු හිමිකර ගැනීමක් නොව, අනෙකාගේ ආත්මීය වර්ධනය වෙනුවෙන් පෙනී සිටීමයි.

සූර්යාලෝකය යනු එම සැබෑ, කොන්දේසි විරහිත ආදරයේ ආලෝකයයි.

ප්ලේටෝගේ ගුහාවෙන් පිටතට පැමිණීම යනු අපේ මනස තුළ ඇති ආදරය පිළිබඳ මායාවන් දුරු කර, සැබෑ ආත්මාවබෝධය ලබා ගැනීමයි.

අප අපේම මනසේ සෙවණැලිවලින් මිදෙන තාක් කල්, අපට අනෙකාට සැබවින්ම ආදරය කළ නොහැක. සැබෑ ආදරය පවතින්නේ ගුහාවේ අඳුර තුළ නොව, මනසේ නිදහස සහ සත්‍යයේ ආලෝකය හමුවේය.

අප බිය වන්නේ ගුහාවේ අඳුරට නොවේ.
අප බිය වන්නේ ආලෝකයටය.

මන්ද ආලෝකය අපට ලෝකය පමණක් නොව,
අපවම පෙන්වන බැවිනි.
සත්‍යය සොයා යාම වේදනාකාරී විය හැක.
නමුත් නිදහස ලැබෙන්නේ එම වේදනාව හරහාය....

Psychological Counselor
Kasun Rajapaksha...

11/07/2026









10/07/2026










"මම මගේ Husband එක්ක අද රංඩු කරා.. ඒ නිසා මම අද ගොඩක් upset එකේ ඉන්නේ..""මොකක්ද හේතුව?""එයා වෙනදා හැමදාම උදේ පාන්දර හයට ...
08/07/2026

"මම මගේ Husband එක්ක අද රංඩු කරා..
ඒ නිසා මම අද ගොඩක් upset එකේ ඉන්නේ.."

"මොකක්ද හේතුව?"

"එයා වෙනදා හැමදාම උදේ පාන්දර හයට මට call එකක් අරන් කතා කරනවා. නමුත් අද ගත්තේ නැහැ. ඉතින් මට ගොඩක් දුක හිතුණා.."

"ඒ කියන්නේ වෙනදා හැමදාම ඒ වෙලාවට එයා ඔයාට කතා කරනවා?"

"ඔව් කතා කරනවා.."

"ඉතින් රණ්ඩු නොකර, වෙනදා වගේ කතා නොකර හිටපු හේතුව එයාගෙන් ඇහුවේ නැද්ද..?"

"නැහැ! හේතුවක් අහන්න ඕන නැහැනේ, වෙනදට ගන්නවා නම් අද නොගත්තේ එයාට මාව දැන් වටින්නේ නැති නිසා වෙන්න ඇති නේ.."

"ඉතින් කලින් හැමදාම වටිනා ඔයාව, එයාට අද විතරක් වටින්නේ නැති වෙලා කියලාද ඔයා අදහස් කරන්නේ..?"

"ඔව්.. එහෙම හින්දානේ මට අද කතා නොකරේ..."

මෙය මා සහ මගේ සේවාදායකයකු (Client) අතර පසුගියදා ඇති වූ සැබෑ කතාබහකි.

මනෝවිද්‍යාත්මකව බැලූ විට මෙහි සිදු වූ දේ ඉතා සරල මෙන්ම ගැඹුරුය:

📍 සිද්ධිය (Event): අද උදේ කෝල් එකක් ආවේ නැත.

🧠 සිතුවිල්ල (Thought): "එයාට මාව දැන් වටින්නේ නැහැ."

💔 හැඟීම (Emotion): දුක, කෝපය, කලකිරීම සහ ප්‍රතික්ෂේප වූ බවක් දැනීම.

⚡ හැසිරීම (Behavior): අනවශ්‍ය ලෙස රණ්ඩුවක් ඇති කර ගැනීම.

බොහෝ දෙනෙක් හිතන්නේ තමන් 'Upset' වෙන්නේ සිදු වූ "සිද්ධිය" නිසා කියාය. නමුත් ඇත්තටම අපි නොසන්සුන් වන්නේ සිද්ධිය නිසා නොව, අපි ඒ සිද්ධියට ලබා දෙන අර්ථකථනය (Meaning) නිසයි.

මනෝවිද්‍යාවේදී මෙයට Mind Reading (අනුන්ගේ සිතිවිලි කියවීම) යැයි පවසයි. අපි කිසිදු සාක්ෂියක් නොමැතිව, අනෙක් කෙනාගේ හිත ඇතුළේ තියෙන්නේ කුමක්දැයි අප විසින්ම තීරණය කරමු.

"එයා කතා කළේ නැහැ" — එය කරුණකි (Fact).

"එයාට මාව එපා වෙලා" — එය උපකල්පනයකි
(Assumption).

නමුත් බොහෝ වෙලාවට අපි ප්‍රතිචාර දක්වන්නේ කරුණට නොව, අපේම උපකල්පනයටයි!

ඊට පස්සේ තවත් දෙයක් සිදු වේ. එනම් Emotional Reasoning (හැඟීම් මත තීරණ ගැනීම) යි.

මට ප්‍රතික්ෂේප වූ බවක් දැනේ ➔ "එහෙනම් මාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා."

මට ආදරේ නැති වගේ දැනේ ➔ "එහෙනම් එයාට මට ආදරේ නැහැ."

අපේ හැඟීම් අපට "සත්‍යයක්" වගේ දැනුණාට, හැඟීම් හැමවිටම සත්‍යය පවසන්නේ නැත. හැඟීම් යනු බොහෝ විට අපේ වැරදි අර්ථකථනවල ප්‍රතිඵලයකි.

🪵 මේ හැමදේටම යටින් ඇති "අතීත තුවාල" (Attachment Wounds)

ඇයි අපේ මනස මෙච්චර ඉක්මනට වැරදි කතාවක් හැදුවේ?

අතීතයේ කවුරු හෝ ඔබව දරුණු ලෙස නොසලකා හැර තිබුණා නම්,

ඔබට ආදරය ලැබෙන්නේ කොන්දේසි මත පමණක් කියා ඔබ කුඩා කාලයේ ඉගෙන ගෙන තිබුණා නම්,

නිතරම ඔබව "අත්හැර දමයි" (Fear of Abandonment) කියන බියක් ඔබේ යටිහිතේ තිබුණා නම්...

අද උදේ ආපු එක missed call එකක් වුවත් ඔබේ මනසට පෙනෙන්නේ සරල සිදුවීමක් ලෙස නොවෙයි; එය අනතුරු ඇඟවීමක් (Threat) ලෙසයි!

"බලන්න… ඔයා ආයෙත් වැදගත් නැති කෙනෙක් වෙමින් යනවා" කියන පරණ තුවාලයේ හඬ (Internalized Trauma Voice) එහිදී අවදි වේ.

ඒ නිසා සමහර වෙලාවට අපි රණ්ඩු කරන්නේ අපේ සහකරු සමඟ නොවෙයි. අපි රණ්ඩු කරන්නේ අපේ අතීතයේ තුවාල සමඟයි. අපේ බිය සහ අනාරක්ෂිත බව සමඟයි!

ඊළඟ වතාවේ ඔබ Upset වූ විට ඔබෙන්ම මෙහෙම අහන්න:

👉 "මම දැන් ප්‍රතිචාර දක්වන්නේ ඇත්තටම සිදු වූ දේටද? නැත්නම් මම ඒ සිද්ධිය ගැන මගේ මනසින් ගොඩනඟා ගත් කතාවකටද?"

සමහර විට ඔබේ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරන පිළිතුර තිබෙන්නේ එතැන විය හැකිය.

සම්බන්ධතාවයක් බිඳ වැටෙන්නේ සිදු වූ දෙයක් නිසාම නොව, සිදු නොවූ දෙයක් අපේ මනස විසින් සිදු වූ බව තදින්ම විශ්වාස කළ නිසා වෙන්නත් පුළුවන්.

💬 ඔබේ සබඳතාවලදීත් මෙවැනි අසුරක්ෂිත බවක් හෝ අත්හැර දැමීමේ බියක් (Fear of Abandonment) පීඩා විඳිනවාද?

වෘත්තීයමය මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් සහ තනි පුද්ගල උපදේශන (Individual Counseling Sessions) සඳහා පහත "Send Message" බොත්තම ඔස්සේ අප හා සම්බන්ධ විය හැකිය.

Psychological Counselor
Kasun Rajapaksha

Address

Matara

Telephone

+94717440727

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kasun Rajapaksha:

Shortcuts

Share