19/01/2026
අපි හැමවිටම ධනාත්මක චින්තනය හෙවත් positive thinking ගැන කතා කරනවා. ඒ ගැන උනන්දු වෙනවා. ඒත් ඇයි අපි negative thinking හෙවත් සෘණාත්මක චින්තනය ගැන කතා නොකරන්නෙ..???
ඉතින් අද අපි කතා කරන්නෙ සමාජය තුල බෙහෙවින්ම දක්නට ලැබෙන එම ගැටළුව පිළිබඳවයි.
මේ තත්වය කෙනෙකු තුල පවතිනවිට එය ඒ පුද්ගලයාට පමණක් නොවෙයි ඔහු හෝ ඇයගේ පවුලේ අයට, රාජකාරි ස්ථානයට මෙන්ම සමාජයටම බලපාන කරුණක් බවට පත්වෙනවා.
බොහෝවිට මෙය බරපතල වෛද්‍ය ගැටළුවක් බවටද පත්වෙන බැවින් අද අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු.
සෘණාත්මක චින්තනය හෙවත් negative thinking කියන්නෙ අපි නොදැනුවත්වම අපේ ජීවිතයට නොසිතන තරම් බරපතල අවදානමක් ඇතිකරන තත්වයක්.
මොකද්ද මේ "සෘණාත්මක චින්තනය" කියන්නෙ.
කෙටියෙන් කීවොත් මේකට සරලව කියන්නෙ "හැම දෙයක් දෙසම අසුබවාදීව බැලීම " කියල. අපි යම් පුද්ගලයෙක්, පිරිසක්, සමාජයක් හෝ එයට අදාළ යම් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් පිළිබඳව ඇතිකරගන්නා අකමැත්ත, භය , විරෝධය, පිලිකුළ වගේ හැඟීමක් . මෙය සමහර අවස්ථා වල තමන් පිළිබඳවමත් ඇතිවෙනවා. "මට කිසි දෙයක් බෑ, මම ලස්සන නෑ, මම වැඩකට නැති කෙනෙක්" වගේ හැඟීම් ඇතිවෙන්නත් පුළුවන් . එයට පුද්ගලයින් පිළිබඳව පමණක් නොවේ ඕනෑම කාරණයක් පිළිබඳව අසුබවාදීව සිතීමත්, කිසිම දෙයක හොඳක් දකින කෙනෙක් නොවීමත් කියන කාරණාත් අයිති වෙනවා.
පෞද්ගලික වශයෙන් වේවා, සමාජීය වශයෙන් වේවා මෙම තත්වය ඔබ නොදැනුවත්වම ඔබව පීඩනයට පත්කරන,ඒ වගේම ඔබේ අනාගතයට අහිතකර ප්‍රතිඵල ලබාදෙන ඉතාම බරපතල කරුණක්. මෙය හුදෙක් සිතුවිල්ලකට පමණක් ලඝු කළ නොහැක්කේ එහි පවතින අවදානම් සහගත සෞඛ්‍ය ගැටළු හේතුවෙන්.
මොනවද මේ සෞඛ්‍ය ගැටළු...??
ඍණාත්මක චින්තනය සහ එහි බලපෑම (Negative Thinking and it's adverse effects)
කෙනෙකු තුල ඍණාත්මක සිතුවිල්ලක් හටගත් විගස ඒ පුද්ගලයාගේ ශරීරය තුළ එයට විරුද්ධව "සටන් කිරීම හෝ පලායාම" (fight-or-flight) වැනි ආතතිමය ප්‍රතිචාරයක් ඇති කරන්න පටන් ගන්නවා..එතනින් තමයි මේ අවදානම් ක්‍රියාවලිය ආරම්භ වෙන්නෙ.
මෙහිදී මොළය මගින් කෝටිසෝල් (cortisol) සහ ඇඩ්‍රිනලින් (adrenaline) වැනි රසායනික ද්‍රව්‍ය මුදාහරින්න පටන්ගන්නවා, දිගින් දිගටම අපි මෙම සිතුවිල්ලේ එල්බගෙන සිටියවිට එය දිගුකාලීන හැඟිමක් බවට පත්වෙන්න ට හැකියි. කාලයත් සමඟ මේවා කෙනෙකුගේ කායික සෞඛ්‍යයට හානි කිරීමටත්, බුද්ධිමය ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමටත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීමටත් හේතු වෙනවා.
මෙම නිදන්ගත රසායනික තත්ත්වය නිසා මොළය ඍණාත්මක දේට වඩාත් නැඹුරු වන පරිදි හැඩගැසෙන අතර, එය කාංසාව (anxiety), විශාදය (depression) සහ හෘද වාහිනී ආබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන අඛණ්ඩ චක්‍රයක් බවට පත් වෙන්නට හැකියි
සෘණාත්මක චින්තනයේ රසායනික හා කායික බලපෑම් (Chemical and Physiological Effects):
1) ආතති හෝමෝන අධික වීම:
ඍණාත්මක සහ නැවත නැවතත් සිතන සිතුවිලි නිසා කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් මට්ටම තව තවත් ඉහළ යන්නට පටන්ගන්නවා. මේවා තාවකාලික අනතුරකදී ප්‍රයෝජනවත් වුවද, දිගින් දිගටම පැවතීම නිසා අධික තෙහෙට්ටුව, කේන්ති යාම සහ කාංසාව ඇති වෙන්න පුළුවන් .
2) ස්නායු සම්ප්‍රේෂක ක්ෂය වීම:
නිදන්ගත ඍණාත්මක බව නිසා සතුට ඇති කරන හෝමෝනයක් වන සෙරොටොනින් (serotonin) අඩුවිය හැකි අතර, එය විශාදය ඇති වීමට සහ කෙනෙකුගේ සමස්ත යහපැවැත්ම පිරිහීමට දායක වෙනවා..
3) ප්‍රදාහය (Inflammation):
නිරන්තර ඍණාත්මක චින්තනය නිසා ඇතිවන නිදන්ගත ආතතිය හේතුවෙන් මොළය තුළ ප්‍රදාහයක් (ඉදිමීමක් වැනි තත්ත්වයක්) ඇති වෙන්න පුළුවන් .
4) මොළයේ ව්‍යුහය වෙනස් වීම:
අධික කෝටිසෝල් මට්ටම නිසා මතකය තබා ගන්නා 'හිපොකැම්පස්' (hippocampus) හි ස්නායු සෛල විනාශ විය හැකි අතර තීරණ ගැනීම සහ හැඟීම් පාලනය කරන 'ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස්' (prefrontal cortex) කොටස හැකිලීමට ලක්වීම තවත් භයානක තත්වයක්.
5) ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම:
ඍණාත්මක සිතුවිළි නිසා ශරීරය නිරන්තරයෙන් අවදියෙන් (high-alert) පවතින බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී ලෙඩ රෝගවලට ගොදුරු වීම තවත් භයානක තත්වයක්.
මෙවැනි කෙනෙකුට ඇතිවන කායික රෝග ලක්ෂණ:
මෙම රසායනික වෙනස්කම් නිසා නිරන්තර හිසරදය, සිරුරේ මාංශ පේශි තද වීම, පපුවේ වේදනාව, වේගවත් හෘද ස්පන්දනය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු වගේ දේවල් වලින් රෝග ලක්ෂණ පිටතට පෙනෙන්නට පටන්ගන්නවා. ඔවුන් හැම නිතරම ඉන්නෙ යම් ආකාරයක නොසන්සුන් සහ නොරුස්සන ස්වභාවයකින්.
මෙහි බරපතලම තත්වය තමයි දිගින්දිගටම ඔවුන් තුල සෘණාත්මක සිතුවිලි හටගැනීමට ඇති හැකියාව. එයට කියන්නෙ "ඍණාත්මක ප්‍රතිපෝෂණ චක්‍රය" (The Negative Feedback Loop) කියල
යම් දුරකට, ධනාත්මක සිතුවිලි වලට වඩා ඍණාත්මක සිතුවිලි බලවත් වගේම එහි බලපෑමත් වැඩියි.. මන්දයත් ඒවා මුල කී ආකාරයට පැවැත්ම සඳහා වන "සටන් කිරීම හෝ පලායාම" වැනි පරිණාමීය ප්‍රතිචාරයක් ඇති කරන බැවින්. මෙම සිතුවිලි නැවත නැවත ඇති වූ විට, මොළය තුළ ඒවාටම වෙන් වූ ස්ථාවර මාර්ග (pathways) සැකසෙන අතර, එමඟින් පුද්ගලයෙකු ඉතා පහසුවෙන් සහ වේගයෙන් ඍණාත්මක සිතුවිලි රටාවකට ඇද වැටීමට හැකියි.
එය චක්‍රයක් ලෙස සිදුවීමට පටන් ගත්විට එයින් මිදීමට ඉතා අපහසුයි. ඒ නිසා අපට එවැනි සිතුවිළි ඇතිවන මුල් අවස්ථාවේදීම එය හඳුනාගෙන එයින් මිඳීමට කටයුතු කරන්න සිදු වෙනවා.
එසේ නොකළහොත් එයින් ඔබට මෙන්ම සමාජයටද වන හානිය වැඩියි.
කොහොමද අපි එයින් මිදෙන්නෙ??
සෘණාත්මක සිතුවිළි හඳුනාගෙන එයට අභියෝග කිරීම, සිහිකල්පනාවෙන් සිටීම සහ තමාට ආදරය කිරීම, අවධානය වෙනත් දෙයකට යොමුකිරීම, සෞඛ්‍යමත් ජීවනරටාවක් සහ සෞඛ්‍යමත් ආහාර , ව්‍යායාම, පරිසරය, භාවනාකිරීම, විනෝදාංශ වලට යොමුවීම, නිවැරදි උපදේශනය වැනි දේවල් කරා යොමුවීම තුලින් මෙම තත්වය සහමුලින්ම මඟහරවා ගන්න පුළුවන් .
( මීලඟ ලිපියෙන් අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරමු)
වෛද්‍ය කුමාරි කුමාරසේකර