01/05/2026
2026 අප්‍රේල් 26 ඉරිදා අරුණ ආයුෂ් පුවත්පතට වෛද්‍ය. ප්‍රභාෂි වීරසිංහ මහත්මිය විසින් ලියූ ලිපිය ආශ්‍රයෙනි.
"ගසක් යට සෙවණ නිකම්ම හෙවණක් නොව, මහා ඔසුවකි. දැඩි රස්නයට ආයුර්වේදයෙන් සහ ස්වභාවධර්මයෙන් සුවදායී විසඳුමක්."
🥵 දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත් සමඟ ශ්‍රී ලංකාවාසීන් වන අප ද මේ දිනවල අත්විඳින්නේ පෙර නොවූ විරූ දැඩි රස්නයකි. "ඩොක්ටර්, ඇඟට මාර දාහයක් දැනෙන්නේ, ඇස් දැවිල්ලයි, කේන්ති යනවා වැඩියි, මුළු ඇඟම පත්තු වෙනවා වගේ" මේ දිනවල පැමිණෙන රෝගීන්ගෙන් නිතර ඇසෙන මැසිවිල්ලක්. මෙම අපහසුතාවයන් මඟහරවා ගැනීමට අප බොහෝ දෙනෙක් කරන්නේ වායුසමනය කළ කාමර හෝ විදුලි පංකා යටට වී දොරවල් වසාගෙන සිටීමයි. නමුත් මෙය තාවකාලික විසඳුමක් පමණක් වන අතර, එය සැබෑ සුවපත්භාවය ලබා නොදෙයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පෙන්වා දෙන පරිදි, ස්වභාවධර්මය සතුව අපගේ ශරීරයේ උෂ්ණත්වය හෙවත් 'පිත්ත දෝෂය' පුදුමාකාර ලෙස සමනය කිරීමේ හැකියාවක් ඇත. ගසක් යටට වී ගත කරන සුළු කාලය පවා හුදෙක් සෙවණක් ලැබීම ඉක්මවා ගිය මහා ඖෂධීය ප්‍රතිකාරයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව අපි විමසා බලමු.
🔥 ආයුර්වේදයේ 'පිත්ත දෝෂය' සහ රස්නය (The Concept of Pitta)
ආයුර්වේදයට අනුව අපේ සිරුර නිර්මාණය වී ඇත්තේ වාත, පිත සහ කඵ යන ත්‍රිදෝෂයන්ගෙනි. මේ අතරින් 'පිත' (Pitta) දෝෂය ගින්දර සහ ජලය යන මහා භූත නියෝජනය කරනවා . පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන විට සිරුරේ පිත දෝෂය කෝප වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස:
*සිරුරේ අධික උෂ්ණත්වය සහ දාහය.
*සමේ පලු දැමීම, කුෂ්ඨ සහ රස්නය නිසා ඇතිවන බිබිලි (Heat rashes).
*ඇස් දැවිල්ල සහ මුත්‍රා දැවිල්ල.
*මානසික නොසන්සුන්තාවය, ඉක්මනින් කේන්ති යාම සහ කාංසාව.
*රත්පිත
වැනි තත්තව බහුලව ඇතිවෙනවා.
මෙම තත්ත්වයන් පාලනය කිරීමට නම් සිරුර 'ශීත' ගුණයෙන් යුත් දේවලින් පෝෂණය කළ යුතුයි. ගස්වැල් යනු ස්වභාවධර්මය විසින් අපට ලබා දී ඇති ශීත ගුණයෙන් පිරිපුන් ජීවී සම්පතක් නිසාවෙන් එය නිතැතින්ම ලැබෙනවා.
🌳 ඔසු තුරු හිසින් එන "සුවදායක සුළඟේ" (Therapeutic Breeze) විද්‍යාව
ඔබ කවදා හෝ සිතා බැලුවාද, කොහොඹ
ගසක් යටට ගිය විට දැනෙන සුවය වෙනත් සාමාන්‍ය ගසක් යටදී නොදැනෙන්නේ ඇයි කියා? මෙයට හේතුව ගස් විසින් වාතයට මුදාහරින සූක්ෂම ඖෂධීය කොටස් සහ ඒවායේ සිසිලන ක්‍රියාවලියයි.
පිත්ත ශාමක ගුණය (Cooling Therapy):
කොහොඹ, නා, කුඹුක්, මී වැනි ගස්වල පත්‍ර සහ පොත්ත ස්වභාවයෙන්ම ඉතා ශීත ගුණ සහිතයි. මෙම ගස් හරහා හමා එන සුළඟේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක කිහිපයකින් අඩුය. ගස් මගින් සිදුකරන 'උත්ස්වේදනය' (Transpiration) හෙවත් පත්‍ර හරහා ජල වාෂ්ප පිටකිරීමේ ක්‍රියාවලිය මගින් අවට වාතය ස්වභාවිකවම සිසිල් කරයි. එය හරියට පරිසරයට මුදාහැරි "ස්වභාවික වායුසමන පද්ධතියක්" (Natural Air Conditioning) වගෙයි.
ඖෂධීය අංශු (Phytoncides):
ගස්වැල් විසින් තමන්ව පලිබෝධකයන්ගෙන් සහ රෝගවලින් ආරක්ෂා කර ගැනීමට Phytoncides නමැති වාෂ්පශීලී කාබනික සංයෝග නිපදවයි. අප ගසක් යට සිටින විට මෙම අංශු ආශ්වාස කිරීම මගින් අපගේ සිරුරේ ඇති 'Natural Killer' සෛල ප්‍රමාණය වැඩි වන අතර, එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත්, ආතතිය අඩු කිරීමටත් සෘජුවම දායක වේ.
අපේ පරිසරයේ වටිනා ඖෂධීය වෘක්ෂයන් සහ ඒවායේ ගුණ
සෑම ගසකටම ආවේණික වූ සුව කිරීමේ හැකියාවක් ඇත. විශේෂයෙන්ම ලාංකීය පරිසරයේ ඇති පහත ගස් මේ දිනවල ඔබට දිව්‍යමය ඖෂධයක් වනු ඇත.
කොහොඹ (Neem):
කොහොඹ ගසක් හරහා එන වාතය බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම පිත සමනය කර සමේ රෝග සුව කිරීමට සහ රුධිරය පිරිසිදු කිරීමට මෙහි සෙවණ සහ සුළඟ ඉතා ගුණදායකයි.
කුඹුක් (Kumbuk):
කුඹුක් ගස නිතරම ජලය ඇති ස්ථානවල වැවෙන අතර, එහි පොත්ත මගින් ජලය සහ අවට වාතය අධික ලෙස සිසිල් කරනු ලබයි. හෘද රෝගීන් සඳහා කුඹුක් ගසක් යට සිට හුස්ම ගැනීම පවා යහපත් බව සඳහන්.
නා (Ironwood):
නා පත්‍ර සහ මල්වල ඇති අතිශය සිසිල්කාරක ගුණය නිසා නා ගසක් යටදී ඇස්වලට සහ ශරීරයට දැනෙන්නේ පුදුමාකාර සහනයකි. මෙහි සුවඳ මනස සන්සුන් කරයි.
බෝ සහ නුග (Sacred Fig & Banyan)
මේවා මහා වෘක්ෂයන්ය. මේවායින් නිකුත් කරන අතිවිශාල ඔක්සිජන් ප්‍රමාණය මොළයේ ක්‍රියාකාරිත්වය ඔප්නංවන අතර, කාංසාව සහ මානසික ආතතිය දුරු කිරීමට මහෝපකාරී වේ.
කරඳ සහ බෙලි:
කරඳ ගස මගින් පරිසරයේ ඇති විෂ වායු උරාගෙන වාතය පිරිසිදු කරයි (Detoxification). බෙලි ගසේ පත්‍ර සහ මල්වලින් නිකුත් වන සුවඳ ස්වසන පද්ධතියේ සෞඛ්‍යයට ඉතා හිතකරයි.
🌱 Grounding හෙවත් පය පොළොවට තැබීමේ ආශ්චර්යය
මෙම ඖෂධීය ගසක් යටට ගිය විට ඔබ කළ යුතු වැදගත්ම දෙය නම් ඔබේ පාවහන් ගලවා හිස් පය පොළොවට තැබීමයි.
නූතන විද්‍යාව පෙන්වා දෙන පරිදි, පෘථිවිය සතුව Negative Electrons අතිවිශාල ප්‍රමාණයක් ඇත. අපගේ සිරුරේ විවිධ රෝග, දැවිල්ල සහ මානසික ආතතිය ඇති වූ විට සිරුරේ ධන ආරෝපිත Positive Charge අංශු වැඩි වේ. හිස් පය පොළොවට තැබූ විට, පෘථිවියේ ඇති ඍණ ඉලෙක්ට්‍රෝන අපේ සිරුරට ඇතුළු වී, සිරුරේ ඇති 'Free Radicals' උදාසීන කරයි. මෙය:
ශරීරයේ ප්‍රදාහ තත්ත්ව (Inflammation), දාහය අඩු කරයි.
නින්දේ ගුණාත්මකභාවය වැඩි කරයි.
රුධිර සංසරණය ක්‍රමවත් කරයි.
සිරුරේ ඇති අධික තාපය පොළොවට උරා ගනී.
🌟 ගසක් යටදී සිදුකළ හැකි ප්‍රතිකාරය
හුදෙක් ගසක් යටට ගොස් වාඩි වී සිටීම වෙනුවට, එය ක්‍රමානුකූල ප්‍රතිකාරයක් (Therapy) ලෙස මෙසේ කළ හැකිය.
වේලාව: උදෑසන 8-10 හෝ සවස 4-6 අතර කාලය තෝරා ගන්න. (දැඩි මධ්‍යහ්නේ හිරු රැස් සෘජුව වැදීමෙන් වළකින්න).
සූදානම: දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ නිවසේ තබා එන්න. ඒවායේ විකිරණ ඔබේ විවේකයට බාධාවකි.
ඉරියව්ව: පාවහන් ගලවා හිස් පය තණකොළ හෝ වැලි මත තබා ගසට හේත්තු වී හෝ ගස යට වාඩි වන්න.
ස්වසනය (Pranayama): ප්‍රාණයාම වැනි ආයුර්වේද ස්වසන අභ්‍යාස මෙහිදී කළ හැකිය. සෙමින් හුස්ම ඇතුළට ගන්න. රඳවා සිටින්න. සෙමින් හුස්ම පිටකරන්න. එවිට ගසේ ඖෂධීය සුළඟ ඔබේ පෙනහළු හරහා මුළු සිරුරම සිසිල් කරනු ඇත.
ගසේ කොළ සෙලවෙන හඬ, කුරුල්ලන්ගේ නාදය සහ අතු අතරින් පෙරී එන ආලෝකය දෙස අවධානයෙන් බලා සිටින්න. මෙය ඔබේ 'පිත' කෝප වීම නිසා ඇති වූ කේන්තිය සහ කලබලකාරී බව සමනය කරයි.
⭐පාරිසරික වගකීම
අද අප අත්විඳින මෙම දැඩි රස්නයට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිසා විසින් තම වාසිය තකා වනාන්තර විනාශ කිරීම සහ ගස් කැපීමයි. කොන්ක්‍රීට් වනාන්තර ඇතුළේ A/C මැෂින් දමාගෙන අප කරන්නේ පරිසරය තව තවත් රත් කිරීමයි.
අපට සැබෑ සිසිලස අවශ්‍ය නම්, අප කළ යුත්තේ:
අපේ මිදුලේ අවම වශයෙන් එක ඖෂධීය ගසක්වත් සිටුවීම.
පවතින දැවැන්ත වෘක්ෂයන් රැක ගැනීම.
ස්වභාවික වාතාශ්‍රය ලැබෙන පරිදි නිවාස සැලසුම් කිරීම ආදියයි.
අපගේ පළමු වෛද්‍යවරයා ඉන්නේ රෝහලක නොව අපේ ළඟමයි . ස්වභාවධර්මය යනු නොමිලේ ලැබෙන මහා රෝහලකි. මෙම රස්නය පවතින දිනවල ඖෂධ හෝ කෘතිම පාන වර්ග පසුපසම නොගොස්, දිනකට විනාඩි 20ක් ගසක් යටට වී ස්වභාවධර්මයේ සුවය විඳින්න.
ඔබේ දරුවන්ටත් මෙම වටිනාකම කියා දෙන්න. පරිගණක ක්‍රීඩා වෙනුවට ගසක් යට සෙල්ලම් කිරීමට ඔවුන්ව යොමු කරන්න. එවිට ඔවුන් නිරෝගී, සිසිල් මනසක් ඇති පුද්ගලයන් ලෙස වැඩෙනු ඇත.
"සීතල සුළඟක් පවා ඖෂධයක් වන රටක උපන් අප, එහි අගය හඳුනා ගත යුතුය."
වෛද්‍ය ප්‍රභාෂි වීරසිංහ
BAMS (University of Colombo) ,M.A.
අධ්‍යක්ෂිකා, පංචතරු ආයුර්වේද පුද්.සමාගම.
0777005616/ 0777005612