08/08/2026
කායසේක ( KayaSeka)
විශේෂ ක්‍රමවේද භාවිතා කරමින් ශරීරයට මද උණුසුම් තෙල් වත් කිරීම කායසේක යනුවෙන් සරලව හඳුන්වා දිය හැකිය. මෙම විශිෂ්ට චිකිත්සා ක්‍රමය කේරලයේ ප්‍රසිද්ධම චිකිත්සාව වන අතර කේරලීය පංච කර්ම වලට ද අයත් වේ. සංස්කෘත භාෂාවෙන් කායසේක හෝ තෛල සේක යනුවෙන් හඳුන්වන අතර මලයාලම් බසින් පිෂිචිල් (Pizhichil) නම් වේ.
මෙහිදී පළමුව රෝගියාට උඩු අතට වැතිරීමට සලස්වා මද උණුසුම් තෙල් පොඟවා ගත් රෙදි කඩක් මිරිකීම මඟින්, ක්‍රමානුකූලව සිරුරට තෙල් වත් කරමින්, අනෙක් අතින් සිරුර තද කර පහතට පිරිමැදීම සිදු කරනු ලබයි. අනතුරුව රෝගියාව යටි අතට, වම් ඇලයට, දකුණු ඇලයට යනාදී ලෙස ඉරියව් වෙනස් කරමින් දිගින් දිගටම තෙල් වත් කිරීම හා පිරිමැදීම සිදු කරනු ලබයි. ඒ අනුව රෝගියාට ස්නේහනය හා ස්වේදනය එකවර සිදු කෙරේ. මෙය පැයක පමණ කාලයක් පුරා සිදු කෙරෙන ප්‍රතිකාරයකි. ප්‍රතිකාරය කරනු ලබන දින ගණන අනුව එම කාලය ක්‍රමයෙන් වැඩි කරන අවස්ථා ද ඇත. භාවිතා කරනු ලබන තෙල් වර්ගය රෝගියාගේ රෝගී තත්ත්වය මත රඳා පවතින අතර යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම,ආරකෂා කිරීම හා වැඩිදියුණු කිරීම උදෙසා නිරෝගී පුද්ගලයන්ට පවා සුදුසු වන මහඟු චිකිත්සා ක්‍රමයකි. එහිදී එම පුද්ගලයාගේ ප්‍රකෘතියට අනුකූල වන පරිදි තෙල් වර්ගය තෝරා ගනු ලබයි.
මෙම ප්‍රතිකාරය තුළින් ලබා ගත හැකි ප්‍රතිඵල පොදුවේ ගත් කල මෙසේ සඳහන් කළ හැකිය.
1. රෝගියාට හොඳින් දහඩිය දැමීම සිදු වන බැවින් ශරීර අභ්‍යන්තරයේ ඇති අපද්‍රව්‍ය බැහැර වේ.
2. ශරීරයේ පවතින දැවිල්ල හා දාහය දුරු කරයි. විශේෂයෙන්ම ගංජා ආදිය භාවිතා කර නතර කිරීමෙන් පසු ශරීරයේ ඇති වන දැවිල්ල සමනය කිරීමට කිරි භාවිතයෙන් සිදු කරන ධාරා කර්මය ඉතා වැදගත් වේ.
3. සමට පෝෂණය ලබා දෙමින් සම දීප්තිමත් කරයි.
4. සමෙහි ඇති වන අධික වියළීම දුරු කරයි.
5. මානසික සතුට හා සුවතාවය ඇති කරයි.
6. මානසික පීඩනය දුරු කරයි.
7. ස්නායුගත රෝග ඇතුළු සියලුම වාත රෝග සඳහා ඉතා ගුණදායක වේ.
8. පිත් කෝපය තුළින් හට ගන්නා රෝග සඳහා ද යහපත් ප්‍රතිඵල ලබා දෙයි.
9. ශරීරයට සැහැල්ලුවක් ඇති කරන අතර ශරීර ශක්තිය වර්ධනය කරයි.
10. ශරීරයේ මෘදු බවක් ඇති කරයි.
සෞඛ්‍ය සම්පන්න සුව දිවියක් පවත්වා ගැනීම උදෙසා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ඔබටත් මෙම ප්‍රතිකාර ලබා ගැනීමට අපගේ සිද්ධක ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙතින් මේ වන විට පහසුකම් සලසා ඇත.
සටහන: ආයුර්වේද වෛද්‍ය නිමේෂිකා මඩිතියවල
BAMS (Hons), PGD in Women's Health Development through Ayurveda
University of Colombo