Ruhunu Blood Collection Centre

Ruhunu Blood Collection Centre Thank you mother universe 💰☄️🦋

පසුගිය මාස කිහිපය පුරාවටම ඔබ හෝ ඔබගේ සමීපතමයින් වැඩි වශයෙන් උණ තත්වයන්ට ගොදුරුවනු නිරීක්ෂණය වන්නට ඇති. ඇත්තවශයෙන්ම උණ යන...
22/01/2023

පසුගිය මාස කිහිපය පුරාවටම ඔබ හෝ ඔබගේ සමීපතමයින් වැඩි වශයෙන් උණ තත්වයන්ට ගොදුරුවනු නිරීක්ෂණය වන්නට ඇති. ඇත්තවශයෙන්ම උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවෙයි. ඉතින් මේ අප දකින උණ තත්වයන්ට හේතු වූ රෝගය කුමක් විය හැකි ද? උණ තිබේ නම් කළ යුත්තේ කුමක් ද? නොකළ යුතු දෑ මොනවා ද? යන්න ඔබත් සමඟ සාකච්ඡා කිරීමට අප මෙම කෙටි සටහනෙන් අපේක්ෂා කරනවා.

මේ දිනවල පැතිරයන උණ තත්වයන්ට ප්‍රධානතම හේතුව ලෙස , ශ්වසන වෛරසයක් වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රබේධයක් හේතු වී ඇති බවට විශේෂඥයින් විශ්වාස කරනවා. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි ලක්ෂණ සමඟ ඇතිවන උණ මෙහිදී දකින්නට ලැබෙනවා. කෙසේ නමුත් මෙවැනිම රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ්-19 ඇතුලු තවත් ශ්වසන වෛරස අප අවට පරිසරයේ පවතින බව අමතක කරන්නට බැහැ.

රට තුල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවත් සීග්‍රයෙන් ඉහළගොස් තිබෙන වකවානුවක අප දකින ඇතැම් උණ තත්වයන් ඩෙංගු වන්නටත් ඉඩ තිබෙනවා. මී උණ වැනි අප රටේ පැතිර පවත්නා තවත් බෝවෙන රෝගවලත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ උණ ඇතිවීමයි.

ඇතැම්විට නිවසේදී ඔබට වෙන්කර ගැනීමට අපහසු, මෙවැනි හේතු ගණනාවක් නිසා උණ ඇතිවිය හැකි වුවත් පොදුවේ එවන් අවස්ථාවක අප කලයුතු දෑ දැනගෙන සිටීම සංකූලතා අවම කරගෙන ඉක්මනින්ම සුවපත්වීමට ඉතා වැදගත්.

ඔබට හෝ සමීපතමයෙකුට උණ ඇතිනම් හොඳින් දියර වර්ග ලබාගනිමින් විවේකීව සිටීම වැදගත්. පානීය ජලය පමණක් නොව කැඳ, සුප්, තැඹිලි වැනි ඛනිජ ලවණ අඩංගු පාන වර්ග ඔබට ලබාගත හැකි නම් වඩාත් සුදුසුයි. එමෙන්ම ශරීරයේ දියර මට්ටම ඉක්මනින් ඉහළ නංවන සහ පහසුවෙන් සකස් කරගත හැකි පානයක් වන ජීවනී පැකට්ටුවක් නිවසේ තබාගත හැකිනම් මෙවන් මොහොතක ඔබට එය ක්ෂණිකව පිළියෙල කරගෙන භාවිතා කල හැකියි. පෝෂණීය ආහාරවේලක් ලබාගැනීමත් ඉක්මන් සුවයට උපකාරයක්. උණට සහ වේදනාවට පැරසිටමෝල් ඖෂධය පමණක් නිසි මාත්‍රාවෙන් ලබාගැනීම කල හැකියි.

ඔබ වයස්ගත පුද්ගලයෙකු , ගැබිණි මවක හෝ වෙනත් නිධන්ගත රෝගයකින් පෙළෙන අයෙකු නම් උණ ඇති වූ පළමු දිනයේදීම වෛද්‍ය උපදෙස් ලබාගැනිම වැදගත්. එසේ නොමැති නිරෝගී අයෙකු වුවත් දින දෙකකට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාරවෙත යොමුවීම සුදුසුයි.

කිසිදු හේතුවක් නිසා පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ ලබාගැනීම නොකලයුතුයි. ප්‍රතිජීවක ( ඇන්ටිබයොටික් ) වෛද්‍ය නිර්දේශයක් මත පමණක් සම්පූර්ණ මාත්‍රා ගණන ලබාගත යුතු අතර ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධත් වෛද්‍ය නිර්දේශ රහිතව ලබාගැනීම අනතුරුදායකයි.

ඇතැම් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට උණ සුවවීමෙන් පසුව කල්පවතින කැස්සක් ඇතිවනබව නිරීක්ෂණය වී තිබෙනවා. මෙවන් තත්වයන්ට වෛද්‍ය උපදෙස් මත ලබාගන්නා ඉන්හේලර් ( Inhaler ) හෝ වෙනත් ඖෂධ කෙටි කාලයකට අවශ්‍ය විය හැකියි.

වෛරස මගින් බෝවන ශ්වසන රෝග වළක්වාගැනීම ගැන ඔබ දැනටමත් දන්නා නිතර දෑත් පිරිසිදු කරගැනීම, මුහුණු ආවරණ පැළඳීම, හැකි හැමවිටම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, කහින කිවිසින විට වැළමිටේ ඇතුල්පැත්තට හෝ ටිෂූ කඩදාසියකට එය පිටකිරීම වැනි ක්‍රමෝපායන් භාවිතා කිරීම මඟින් හැකියාව ලැබෙනවා. ඩෙංගු ආසාදන වළක්වා ගැනීමට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ මදුරු දශ්ඨනයෙන් වැළකීම ඉතා වැදගත්. මී උණෙන් වැළකීමේ වැදගත් පියවරක් ලෙස ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයෙන් (MOH) ලබාදෙන ඖෂධ ලැබෙන උපදෙස් පරිදි කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙන කාල සීමාව තුල ලබාගැනීම, සඳහන් කරන්නට පුලුවන්.

මේ සියලු රෝග තත්වයන් හැකිතාක් වළක්වා ගැනීමටත්, ‍යම් හෙයකින් ආසාදනයට ලක් වුවහොත් සුදුසුම ක්‍රියාමාර්ගය නොපමාව ගැනීමට මෙන්ම සංකූලතා වළක්වා ගැනීමටත් මේ දැනුම ඔබට ඉවහල්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

'මංකිපොක්ස්' හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ…වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍...
13/08/2022

'මංකිපොක්ස්' හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ…

වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඔබ, 'මංකිපොක්ස්' බවට සැක කල හැකි රෝගියෙක් ද? 'මංකිපොක්ස්' රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙන්ම ඒ ඒ අවස්ථා වලදී කල යුත්තේ කුමක් දැයි යන අවබෝධයත් ඔබ වෙත සමීප කිරීම මෙම සටහනේ අරමුණයි.

👉 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි පුද්ගලයින් ( Suspected cases - Monkeypox)
වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි,

එක් වරම හටගත් සමේ කුෂ්ට තත්වයක්
සමඟ,

හිසරදය
එක්වරම හටගත් උණ
වසාගැටිති ඉදිමුම
මස් පිඩු වේදනාව
කොන්දේ වේදනාව
තදබල තෙහෙට්ටු ස්වභාවය

යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම පුද්ගලයා 'මංකි පොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි අයෙකු ලෙස සැලකෙනවා.

කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ සහිත පුද්ගලයෙක් 'මංකි පොක්ස්' ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා.

👉 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි පුද්ගලයින් ( Probable cases - Monkeypox)

පෙර කී රෝග ලක්ෂණ අනුව 'මංකි පොක්ස්' බවට සැක කෙරෙන පුද්ගලයෙක්,

තහවුරු කල 'මංකි පොක්ස්' රෝගියෙකුගේ සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රෝග ලක්ෂණ හටහැනීමට දින 21ක් ඇතුලත, නාඳුනන අයෙකු සමඟ හෝ එක් අයෙකුට වැඩි දෙනෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මඟින් මංකිපොක්ස් වෛරසය අයත් වෛරස කාණ්ඩයට අදාල ප්‍රතිඵල ලැබේ නම්

ඔහු හෝ ඇය, 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙනවා.

දැනට යමෙකු 'මංකි පොක්ස් රෝගියෙකු' බවට නිශ්චිතවම තහවුරු කල හැක්කේ සමෙහි ඇති වූ තුවාල වල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්‍රයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණයක් මඟින් පමණයි.

👉 'මංකි පොක්ස්' ආශ්‍රිතයින් (Contacts - Monkeypox )

මුල්ම රෝග ලක්ෂණය හටගැනීමේ පටන් තුවාල වියලී, කබොලු සියල්ලම හැලී යන තුරු 'මංකිපොක්ස්' රෝගියෙකු වාහකයෙක් විය හැකියි. එම වාහක කාලය තුල ඉහත විස්තරකල ' 'මංකිපොක්ස්' ආසාදිතයෙකු බවට සැක කල හැකි' හෝ ' 'මංකි පොක්ස්' ආසාදිතයෙකු විය හැකි ' කෙනෙකු,

මුහුණට මුහුණලා සමීපව ඇසුරු කලහොත් හෝ
ඉතා සමීප ශාරීරික සබඳතා පැවැත්වුවහොත් හෝ
පරිහරණය කල උපකරණ හෝ ඇඳ ඇතිරිලි යනාදිය භාවිතා කලොත්

එම පිරිස ආශ්‍රිතයින්, ලෙස සැළකෙනවා.

රෝග ලක්ෂණ කිසිවක් නැති ආශ්‍රිතයින්, සෞඛ්‍ය උපදෙස් අනුව දින 21 ගතවන තෙක් පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර රෝග ලක්ෂණ එකක් හෝ හටහතහොත් වහාම අන් අයගෙන් වෙන් වී උපදෙස් අනුව කටයුතු කල යුතු වනවා.

ඔබත් මංකිපොක්ස් ආශ්‍රිතයෙකු වුවහොත් ඔබ කලයුතු දෑ පිළිබඳ වැඩිදුර විස්තර පියවරෙන් පියවර මීලඟ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. එතෙක් මේ වසංගත අවදානම පිළිබඳ දැනුවත් ඔබ සියලු දෙනා, ඔබේත් ඔබේ ආදරණීයන්ගේත් සෞඛ්‍යය පිළිබඳව විමසිල්ලෙන් පසුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

'මන්කි පොක්ස්' වසංගත අවදානමට - දැනුම් සූදානම!!මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන ...
04/08/2022

'මන්කි පොක්ස්'

වසංගත අවදානමට - දැනුම් සූදානම!!

මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්වය ලොව විවිධ රටවල් ආක්‍රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව මූලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා.

රටවල් 75 කට පමණ ඉතා ඉක්මනින් මෙම රෝගයේ පැතිරීමත්, තහවුරු කල මරණ පහක් සමගින් 16,000කටත් වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය 'ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්' (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා. අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් , ලංකාව අවට රටවල් කිහිපයකටම 'මන්කිපොක්ස්' ඇතුලු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යාවත්කාලීන කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

'මන්කි පොක්ස්' ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු විය හැකියි. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බව සඳහන්. එනමුත් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.

උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග , ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවිය හැකියි.

සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා. මෙම රෝග ලක්ෂණ, පැපොල / අත් - පා - මුඛ රෝගය වැනි සුලබ වෛරස ආසාදන වලදීත් දැකිය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම මෙන්ම , රෝග ලක්ෂණ ඇති වූ වහාම අන් අයගෙන් වෙන් වී සිටීමත් ඉතා වැදගත්.

'මන්කි පොක්ස්' සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. එමෙන්ම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගය හා සැසඳූ කල ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.

පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ මේ වසංගත අභියෝගයත් කෙලෙස හෝ ජයගැනීමට අපට සිදු වෙනවා. ඒ සඳහා අප විසින් ලබා දෙන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපරිම සහයෝගය ලබා දීමට පුරවැසි ඔබ කටයුතු කරනු අතැයි අප බලාපොරොත්තු වෙනවා.
-උපුටාගැනීමකි-

Stool Sample Tests.Stool sample test යනු ආහාර ජීර්ණ පද්ධතියට බලපාන යම් යම් රෝගී තත්වයන් හඳුනා ගැනීමට උපකාරී වන මල ද්‍රව්...
06/03/2022

Stool Sample Tests.

Stool sample test යනු ආහාර ජීර්ණ පද්ධතියට බලපාන යම් යම් රෝගී තත්වයන් හඳුනා ගැනීමට උපකාරී වන මල ද්‍රව්‍ය සම්බන්ධ සිදු කරන පරීක්ෂණ මාලාවකි. මෙම රෝගී තත්වයන්ට ආසාදන (පරපෝෂිතයින්, වෛරස් හෝ බැක්ටීරියා වැනි), දුර්වල පෝෂක අවශෝෂණ හෝ පිළිකා ඇතුළත් විය හැකිය. Stool සාම්පලයක් විශ්ලේෂණය කිරීම සඳහා පිරිසිදු භාජනයකට stool සාම්පලයක් එකතු කර රසායනාගාරයට යවනු ලැබේ. රසායනාගාර විශ්ලේෂණයට අන්වීක්ෂීය පරීක්‍ෂණය, රසායනික පරීක්ෂණ සහ ක්ෂුද්‍රජීව විද්‍යාත්මක පරීක්ෂණ ඇතුළත් වේ. Stool වල වර්ණය, ඝනත්වය, ප්‍රමාණය, ගන්ධය සහ සෙම තිබේද යන්න මෙහිදී පරීක්‍ෂා කෙරේ. අන්වීක්ෂීය රුධිර කැටි, මේදය, පිත, සුදු රුධිරාණු සහ සීනි සදහා stool සාම්පල පරීක්ෂණය සිදු කළ හැකිය. Stool සාම්පලයේ pH අගය ද මැනිය හැකිය. මීට අමතරව ආසාදන තත්ව හදුනා ගැනීමේදී බැක්ටීරියා රෝපණය සදහා stool සාම්පල භාවිතා කරනු ලබයි.

◼ Stool sample test සිදු කරනු ලබන්නේ:‍

◾ ආහාර ජීර්ණ පද්ධතියේ, අක්මාවේ සහ අග්න්‍යාශයේ රෝග හඳුනා ගැනීම සදහා -
සමහර එන්සයිම ( trypsin හෝ elastase වැනි) stool තුළ තක්සේරු කිරීම මගින් අග්න්‍යාශය කෙතරම් හොඳින් ක්‍රියා කරනවාද යන්න දැන ගත හැකිය.
◾ දිගු කලක් පවත්නා පාචනය, රුධිරය සමග පාචනය, ඔක්කාරය, වමනය, ආහාර අරුචිය, උදරය ඉදිමීම, උදරයේ වේදනාව සහ උණ වැනි ආහාර ජීර්ණ පද්ධතියට බලපාන රෝග ලක්‍ෂණ වලට හේතුව සොයා ගැනීම සදහා
◾ අන්වීක්ෂීය රුධිර කැටි පරීක්‍ෂා කිරීමෙන් මහා අන්ත්‍රයේ පිළිකා නිර්ණය කිරීම
◾ Pinworms හෝ Giardia වැනි පරපෝෂිතයන් සොයා ගැනීමට
◾ බැක්ටීරියා, දිලීර හෝ වෛරස් වැනි ආසාදනයන්ට හේතුව සොයා ගැනීම සදහා
◾ ආහාර ජීර්ණ පද්ධතියෙන් පෝෂ්‍ය පදාර්ථ දුර්වල ලෙස අවශෝෂණය කර ගැනීම (malabsorption syndrome) පරීක්‍ෂා කිරීමට. මෙම පරීක්ෂණය සඳහා පැය 72 ක කාලයක් තුළ පිටවන සියලුම stool එකතු කර එහි අඩංගු මේද ප්‍රමාණය පරීක්‍ෂා කෙරේ.

◼ පරීක්ෂණය සදහා සූදානම් වන ආකාරය:

◾ බොහෝ ඖෂධ වලට මෙම පරීක්‍ෂණයේ ප්‍රතිඵලය වෙනස් කළ හැකිය. ඔබට සිදුකිරීමට ඇති stool sample test කෙබඳුද යන්න මත පදනම්ව, වෛද්‍ය උපදෙස් මගින් යම් යම් ඖෂධ ගැනීමෙන් වැළකීමට ඔබට සිදු වේ.
◾ පරීක්ෂණයට පෙර සති 1 සිට 2 දක්වා ඔබට ප්‍රත්‍යාම්ල ඖෂධ, දිලීර නාශක ඖෂධ, ප්‍රතිජීවක, විරේක හෝ ප්‍රතිවිරේක ඖෂධ ගැනීම නතර කිරීමට අවශ්‍ය විය හැකිය.
◾ ඔබ ගන්නා සියලුම ඖෂධ වට්ටෝරු පිලිබදව ඔබේ වෛද්‍යවරයාට පැවසීමට වග බලා ගන්න.
◾ මෑතකදී බේරියම් ප්‍රතිවිරෝධක ද්‍රව්‍ය භාවිතා කරමින් එක්ස් කිරණ පරීක්ෂාවක්(X-ray test) සිදු කරන ලද නම් හෝ මෑත සතිවල රටින් පිටත සංචාරය කර ඇත්නම් හෝ ඒ පිලිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කිරීමට වග බලා ගන්න. පරීක්ෂණයේදී ගැටලුවක් ඇති කළ හැකි පරපෝෂිතයන්, දිලීර, වෛරස් හෝ බැක්ටීරියා සොයා බැලීමට මෙය ඔබේ වෛද්‍යවරයාට උපකාරී වේ.
◾ ඔබේ stool සාම්පලයේ රුධිරය පරීක්‍ෂා කරන්නේ නම්, පරීක්‍ෂණයට පෙර දින 2 සිට 3 දක්වා යම් යම් ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. මෙය රඳා පවතින්නේ ඔබ භාවිතා කරන stool test වර්ගය මත ය. ඔබේ ඔසප් කාලය තුළදී හෝ අර්ශස් රෝගය හේතුවෙන් රුධිර වහනය වීමක් සිදු වුවහොත් පරීක්‍ෂණය නොකරන්න.

◼ පරීක්ෂණය සිදු කරන කරන ආකාරය:

◾ Stool සාම්පල නිවසේදී, ඔබේ වෛද්‍යවරයාගේ කාර්යාලයේදී, වෛද්‍ය සායනයකින් හෝ රෝහලෙන් රැස් කර ගත හැකිය. ඔබ සාම්පල නිවසේදී එකතු කළහොත් ඔබට දිනපතා භාවිතා කිරීම සඳහා stool එකතු කිරීමේ කට්ටල ලබා දෙනු ඇත. සෑම කට්ටලයකම සාම්පල ලබා ගන්නා කූරු සහ ජීවාණුහරිත බදුන් දෙකක් ඇතුළත් වේ.
◾ දින 1 සිට 3 දක්වා ඔබට නියැදි එකකට වඩා එකතු කිරීමට අවශ්‍ය විය හැකිය. සෑම දිනකම එකම ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්න.

◼ සාම්පල එකතු කිරීම පහත පරිදි සිදු කරන්න:

◾ Stool සාම්පලයට මුත්‍රා පිට නොවන පරිදි, stool එකතු කිරීමට පෙර මුත්‍රා පිට කරන්න.

◾ ඔබ stool රැස් කිරීමට පෙර අත්වැසුම් පැළඳ ගන්න. ආසාදන පැතිරෙන විෂබීජ stool වල අඩංගු විය හැක. ඔබේ අත්වැසුම් ඉවත් කළ පසු ඔබේ අත් හොඳින් සෝදා ගන්න.

◾ Stool සාම්පලය (මුත්‍රා රහිතව) වියළි බදුනකට රැස් කරන්න. stool රැස් කිරීම සඳහා ප්ලාස්ටික් බේසමක් ඔබට භාවිතා කල හැක.
🔹 ඝන හෝ දියර stool රැස් කර ගත හැකිය.
🔹 ඔබට පාචනය ඇත්නම්, විශාල ප්ලාස්ටික් බෑගයකට මල ද්‍රව්‍ය රැස්කර පසුව බෑගය ප්ලාස්ටික් භාජනයට දැමීම සිදු කල හැකියි.
🔹 ඔබ මලබද්ධයට ගොදුරු වී ඇත්නම් ඔබට කුඩා e***a භාවිතා කල හැකිය.
🔹 වැසිකිළි බඳුනෙන් සාම්පලය රැස් නොකරන්න.
🔹 නියැදිය සමඟ වැසිකිලි කඩදාසි, ජලය හෝ සබන් මිශ්‍ර නොකරන්න.

◾ බදුන පියනෙන් හොදින් වසා ඔබේ නම, ඔබේ වෛද්‍යවරයාගේ නම සහ stool සාම්පලය රැස් කළ දිනය සදහන් කර ලේබල් කරන්න. සෑම දිනකම එකතු කිරීම සඳහා එක් බදුනක් භාවිතා කරන්න. ඔබේ වෛද්‍යවරයා ඔබට වෙනත් උපදෙස් ලබා නොදුනහොත් දිනකට එක් වරක් පමණක් සාම්පලයක් එකතු කරන්න.

◾ මුද්‍රා තැබූ බදුන හැකි ඉක්මනින් ඔබේ වෛද්‍යවරයාගේ කාර්යාලයට හෝ විද්‍යාගාරයට ගෙන යන්න. නියමිත කාලය තුළ ඔබේ නියැදිය විද්‍යාගාරයට ලබා දිය යුතුය. සාම්පලය නියමිත වේලාවට රසායනාගාරයට ලබා ගැනීමට ඔබට අපහසු වේ යැයි ඔබ සිතන්නේ නම් ඔබේ වෛද්‍යවරයා ඒ පිලිබදව දැනුවත් කරන්න.

◾ ඔබේ වෛද්‍යවරයාගේ කාර්යාලයේදී හෝ රෝහලේදී stool සාම්පල රැස් කරන්නේ නම්, ප්ලාස්ටික් භාජනයට stool රැස් කරනු ලැබේ. රසායනාගාර විශ්ලේෂණය සඳහා සෞඛ්‍ය වෘත්තිකයෙක් නියැදිය ඇසුරුම් කරයි.

◾ සාම්පල මේද සඳහා පරීක්‍ෂා කරන්නේ නම් ඔබට දින 3 ක් එක දිගට stool සාම්පල එකතු කිරීමට අවශ්‍ය වේ.එහිදී පළමු දිනයේ උදෑසනම ඔබ stool එකතු කිරීමට පටන් ගන්න. සාම්පලය විශාල භාජනයකට දමා ශීතකරණයේ තැබීම සිදුකරන්න.

◾ රටින් බැහැරව සංචාරය කිරීමෙන් පසු ආහාර දිරවීමේ රෝග ලක්‍ෂණ ඇත්නම් දින 7 සිට 10 දක්වා ඔබට stool සාම්පල කිහිපයක් ලබා දීමට සිදු විය හැකිය.

◾ ඇතැම් විට ගුද මාර්ගයට ඇතුළු කරන swab එකක් භාවිතයෙන් stool සාම්පලයක් එකතු කෙරේ. Swab එක ගුද මාර්ගය තුළට ඇතුළු කර මෘදු ලෙස කරකවා පසුව ඉවත් කර ගනී. එය පිරිසිදු, වියලි භාජනයක බහා වහාම රසායනාගාරයට යවනු ලැබේ.

◼ සාම්පල රැස් කිරීමේදී වේදනාවක් දැනේද?

Stool සාම්පලයක් රැස් කිරීමේදී වේදනාවක් නොමැත. ඔබ මලබද්ධයට ගොදුරු වී ඇත්නම් stool පිට කිරීමට වෙහෙසීම වේදනාකාරී විය හැකිය.
සාම්පලය එකතු කිරීම සඳහා ඔබේ සෞඛ්‍ය වෘත්තිකයා ගුද මාර්ගයට ඇතුළු කරන swab එකක් භාවිතා කරන්නේ නම්, ඔබේ ගුදමාර්ගය තුළට swab එක ඇතුළු කළ විට ඔබට යම් පීඩනයක් හෝ සුළු අපහසුතාවයක් දැනෙනු ඇත.

◼ අවදානම් තත්ව

ඕනෑම මලපහ සාම්පලයක රෝග බෝ කළ හැකි විෂබීජ අඩංගු විය හැකිය. ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා ඔබේ දෑත් හොදින් සේදීම සහ සාම්පලය ප්‍රවේශමෙන් හැසිරවීම සිදු කල යුතුය.

◼ පරීක්ෂණයේ ප්‍රතිඵල

Stool sample test මගින් pH අගය, ඔක්සිහරණ සාධක සහ මේදය සඳහා අගයන් පරීක්ෂා කළ හැකිය.
Stool test හි ප්‍රතිඵල සදහා සාමාන්‍යයෙන් අවම වශයෙන් දින 1 සිට 3 දක්වා ගත වේ.

සාමාන්‍ය තත්ව:

◾ stool දුඹුරු, මෘදු සහ මනාව ඝනත්වයෙන් ඇති බව පෙනේ.
◾ stool සාම්පලයේ ලේ, සෙම, සැරව, හානිකර බැක්ටීරියා, වෛරස්, දිලීර හෝ පරපෝෂිතයන් නොමැත.
◾ stool නළයක හැඩය ගනී.

අසාමාන්‍ය තත්ව:

◾ Stool කළු, රතු, සුදු, කහ හෝ කොළ පැහැයක් ගනී.
◾ Stool දියරමය ස්වරූපයෙන් හෝ ඉතා ඝන ස්වරූපයෙන් පවතී.
◾ Stool සාම්පලයේ ලේ, සෙම, සැරව, හානිකර බැක්ටීරියා, වෛරස්, දිලීර හෝ පරපෝෂිතයන් අඩංගු වේ.
◾ Stool වල එන්සයිම ( trypsin හෝ elastase වැනි) අඩු මාත්‍රාවන් වලින් අඩංගු වේ.

බොහෝ තත්ව මඟින් stool test වල ප්‍රතිඵලය වෙනස් කළ හැකිය. ඔබේ රෝග ලක්‍ෂණ හා ඔබේ සෞඛ්‍ය සමඟ සම්බන්ධ විය හැකි අසාමාන්‍ය ප්‍රතිඵල ගැන ඔබේ වෛද්‍යවරයා ඔබ සමඟ සාකච්ඡා කරනු ඇත.

◼ අසාමාන්‍ය අගයන්

◾ Pancreatitis, Sprue (celiac disease), Cystic fibrosis, සහ මේද අවශෝෂණයට බලපාන වෙනත් ආබාධ වැනි රෝග නිසා stool සාම්පලයේ මේද ප්‍රමාණය ඉහළ යා හැකිය.

◾ කාබෝහයිඩ්‍රේට් හෝ මේදය දුර්වල ලෙස අවශෝෂණය කර ගැනීම නිසා අඩු pH අගයන් ඇති විය හැක. ඉහළ pH අගයක් සහිත stool සාම්පල මගින් අන්ත්‍රයේ ප්‍රදාහයන් , අන්ත්‍රයේ පිළිකාවක් හෝ ප්‍රතිජීවක ඖෂධයක් භාවිත කිරීම අදහස් විය හැකිය.

◾ ආහාර ජීර්ණ පද්ධතියේ රුධිර වහනය හේතුවෙන් stool සාම්පලයේ රුධිරය අඩංගු විය හැක.

◾ Stool සාම්පලයේ සුදු රුධිරාණු තිබීම අන්ත්‍රයේ ප්‍රදාහයන් නිසා හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා විය හැකිය.

◾ කුඩා දරුවන් තුළ පාචනය ඇතිවීමට Rotaviruses බහුලව බලපායි. අතීසාරය පවතී නම් stool තුළ Rotaviruses තිබේදැයි සොයා බැලීමට පරීක්‍ෂණ සිදුකළ හැකිය.

◾ Stool සාම්පලයේ ඔක්සිහරණ සාධක ඉහළ මට්ටමක පැවතීම සමහර සීනි වර්ග ජීර්ණය කිරීමේ ගැටලුවක් විය හැකිය.

◾ අඩු මට්ටමක ඔක්සිහරණ සාධක sprue (celiac disease), cystic fibrosis හෝ මන්දපෝෂණය නිසා ඇති විය හැක. colchicine හෝ උපත් පාලන පෙති වැනි ඖෂධ භාවිතයද මීට හේතු විය හැක.

මෙවැනි තවත් වටිනා තොරතුරු සහිත ලිපියකින් නුදුරේදීම හමුවෙමු...

Reference: https://www.uofmhealth.org/health-library/aa80714
https://www.webmd.com/a-to-z-guides/what-is-a-stool-culture

Article by:-
Heshani Jayarathne
Madhu Nisansala

Address

Punchi Palama, Uduwila
Tissamaharama
82600

Opening Hours

Monday 06:30 - 11:30
14:30 - 19:30
Tuesday 06:30 - 11:30
14:30 - 19:30
Wednesday 06:30 - 11:30
14:30 - 19:30
Thursday 06:30 - 11:30
14:30 - 19:30
Friday 06:30 - 11:30
14:30 - 19:30
Saturday 06:30 - 11:30
14:30 - 19:30
Sunday 06:30 - 11:30
14:30 - 19:30

Telephone

+94769050671

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Blood Collection Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share