Navimana Forest Monastery

Navimana Forest Monastery පිනට දහමට ලැදි සැදැහැති පින්වත් ඔබ � නාවිමන ආරණ්‍ය සේනාසනය,
මාකූර,
අඹේපුස්ස,
වරකාපොල.

විශාලා මහනුවර හිටපු මහාලී නම් ලිච්ඡවී ඇමතිවරයා තථාගතයන් වහන්සේගේ සක්කපඤ්හ සූත්‍ර දේශනාව අසා “බුදුරජාණන් වහන්සේ ශක්‍රයාගේ...
18/06/2026

විශාලා මහනුවර හිටපු මහාලී නම් ලිච්ඡවී ඇමතිවරයා තථාගතයන් වහන්සේගේ සක්කපඤ්හ සූත්‍ර දේශනාව අසා “බුදුරජාණන් වහන්සේ ශක්‍රයාගේ සම්පත් බොහෝ කොට දේශනා කරයි. මෙය උන්වහන්සේ දැකලා කියනවාද? නැතහොත් නොදැකද? මෙය ශක්‍රයා දන්නේද? නැතහොත් නොදන්නේද? මෙය අසන්නෙමි”යි සිතුවේය.

ඉන්පසු ඔහු බුදුරදුන් සිටි තැනට ගොස් වැඳ එකත්පසෙක හිඳ “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සක්දෙව්රජ දැක්කේද?”යි ඇසීය.
“මහාලි, මම සක්දෙව්රජ දැක්කෙමි.”
“ස්වාමීනි, ඒකාන්තයෙන්ම ඒ සක්දෙව් රජු වගේ වෙනත් කෙනෙක් විය හැකියි. ශක්‍රයා දකින්න අමාරුයි.”
“මහාලි, මම ශක්‍රයාත් දන්නවා, ශක්‍රයා බවට පත් වෙන්න පුරන්න ඕනා ධර්ම මොනවාද කියලත් මම හොඳින් දන්නවා.“

“මහාලිය, ශක්‍ර දෙවියන් කලින් මඝ නමින් මිනිසෙක්ව සිටියේය. ඒ නිසා ඔහුට මඝ යයි ද, මිනිසෙක්ව සිට නගරයක් පාසා දන් දුන් නිසා ‘පුරින්දද’ යයිද, සකසා දන් දුන් නිසා ‘ශක්‍ර’ යයිද, ආවාස සාදා දුන් නිසා ‘වාසව’ යයිද, දහසක් අර්ථයන් එක් මොහොතකින් සිතූ නිසා ‘සහස්සක්ඛ’ යයිද, සුජාතා නම් අසුර කන්‍යාවක් භාර්යාව වූ නිසා ‘සුජම්පති’ යයිද, තාවතිංස දෙවියන්ට වඩා ඉසුරුබර ආධිපත්‍යයක් ඇතිව රාජ්‍යය පාලනය කළ නිසා ‘දේවානමින්ද’ යයිද කියනවා.“

“මහාලිය, පෙර මිනිසෙක් වෙලා හිටපු සක්දෙව් රජු ව්‍රත හතක් සමාදන් වෙලා පුරපු නිසා ඔහු ශක්‍රයා බවට පත්වුණා. ඒ ව්‍රත හත තමයි,

1. දිවිඇතිතාක් මවුපියන් පෝෂණය කිරීම.
2. දිවි ඇති තාක් කුලදෙටුවන් පිදීම.
3. දිවි ඇති තාක් මෘදු තෙපුල් ඇත්තෙක් වීම.
4. දිවිහිමියෙන් කේලාම් නොකීම.
5. දිවිහිමියෙන් පහකර දැමූ මසුරුමල ඇති සිතින් දීමෙහි ඇලී සිටීම.
6. දිවිහිමියෙන් සත්‍යම ප්‍රකාශ කිරීම.
7. දිවි ඇතිතාක් ක්‍රෝධ නොකිරීම.

“මහාලිය, පෙර මිනිසෙක් වෙලා සිටි ඔහු මේ ව්‍රත පද හත සමාදන්ව සම්පූර්ණ කරපු නිසා ඔහු ශක්‍රයා බවට පත් වුණා.“

ඔහුගේ කථාව විස්තර වශයෙන් දැනගන්න කැමති වූ මහාලිට, “එසේ නම් අහගන්න“ කියලා බුදුරජාණන් වහන්සේ ඒ අතීත කතාව ඔහුට කී සේක.

අතීතයෙහි මගධ රටේ මචල නම් ගමේ හිටපු මඝ කියලා තරුණයෙක් ගමේ වැඩ කරන තැනකට ගොස් තමන් සිටි තැන පිරිසිදු කොට ගෙන සිටියේය. තව එකෙක් පැමිණ ඔහුට අතින් පහර දී එතැනින් එළවා ඔහු එතැන සිටගත්තේය. මඝ තරුණයා ඔහු කෙරෙහි තරහක් ඇති කර ගන්නේ නැතිව වෙනත් තැනක් පිරිසිදු කොට ගෙන සිටියේය. එතැනදීද වෙනත් එකෙක් ඔහුට අතින් පහරදී එලවා දමා එතැන සිට ගත්තේය. මඝ තරුණයා ඔහු සමඟත් නොකිපී වෙනත් තැනක් පිරිසිදු කොටගෙන සිටියේය. මෙසේ ගෙවල්වලින් පිටත්ව ආ මිනිස්සු අතින් පහර දී ඔහු පිරිසිදු කළ තැන්වලින් එලවා දැමූහ.

එවිට “මේ සියලු දෙනා සැපසේ හිඳිති. මේ වැඩෙන් මා විසින් පින්කමක් කරන ලද්දෙමි“ යයි සිතූ මඝ තරුණයා දෙවෙනි දිනයේ උදැල්ලක්ද රැගෙන ගොස් කමතක් පමණ තැනක් පිරිසිදු කොට අලංකාර බවට පත් කෙළේය. සෙසු සියල්ලෝ ගොස් එහි සිටියෝය. පසුව ශීත සෘතුවේදී ගිනි දල්වා දුන්නේය. එය කාටත් ප්‍රියමනාප තැනක් විය. “මෙතැන් පටන් මා විසින් මංමාවත් පාදමින් යායුතු ය“ යි සිතූ ඔහු උදෑසනම ගෙයින් නික්මී පාර පිරිසිදු කරයි. කපා ඉවත් කළයුතු ගස් අතු ඉවත් කරයි.

තවත් එකෙක් මෙය දැක “යහළුවේ, මේ මොකක්ද කරන්නේ?“ යි ඇසීය. “මම මේ දෙව්ලොව යන්න පාර හදනවා“යැයි කීය. “එහෙනම් මාත් උදවු කරන්නද?“, “හොඳයි යහළුව, සහාය වන්න. දෙව්ලොව කාටත් පොදුයිනේ.“ කියා එතැන් පටන් දෙදෙනාම එකතු වී වැඩ කළහ. ඒ දෙදෙනා දැක තොරතුරු අසා දැන තවත් එකෙක් ඔවුනට එකතු විය. මෙසේ එකිනෙකා එක්වී සියල්ලෝ තිස්තුන්දෙනෙක් වූහ. ඒ සියලුදෙනා උදලු ආදිය රැගෙන මාර්ගය සමකරමින් පිරිසිදු කරමින් යොදුනක් දෙකක් ඉදිරියට යති.

මේ දුටු ගම්මුලාදැනියා, “මේ මිනිස්සු කරන වැඩේ නම් එච්චර හොඳ නෑ. ඒකෙන් මට තමා පාඩු. මේ අයව දඩයමේ යැව්වොත් හරි මත්පැන්වලට පුරුදු කරොත් හරි නම් මටත් කීයක් හරි හොයාගන්න පුළුවන්“ යැයි සිතා ඔවුන් කැඳවා,

“නුඹලා මොනවාද මේ කරන්නේ?“ යැයි ඇසීය.
“ස්වාමීනි, අපි මේ දෙව්ලොව යන පාර හදාගන්නවා.“
“ළමයිනේ, ඕවා කරලා හරියන්නේ නෑ. තරුණ කාලේ කාලා බීලා සතුටෙන් ඉන්න ඕනේ. මං කියන්නම් හොඳ වැඩක්“ කියූ ගම්මුලාදෑනියා තම අදහස ඔවුන්ට කීවේය.

ඔවුහු ඒ අදහසට කැමති නොවූහ. යළි යළිත් කීවත් ප්‍රතික්ෂේපම කළෝය. ගම්මුලාදැනියාට හොඳටම තරහ ගොස් “මුන්ට හොඳ වැඩක් කරන්නම්කෝ“ යයි සිතා, රජුන් ළඟට ගොස් “දේවයන් වහන්ස, අපේ ගමේ සොර කල්ලියක් ඉන්නවා දැක්කා“යි කී විට “එසේ නම් ඔවුන් අල්ලාගෙන එනු“යි රජු අණ කළ කල්හි ඔහු එසේ කෙළේය. රජු විමසීමක් නොකරම මඝ ඇතුළු පිරිසව ඇතුන් ලවා පාගවා විනාශ කරන්නට අණ දුන්නේය.

මඝ තරුණයා සෙස්සන් අමතා, “හොඳින් මතක තබාගන්න. මෛත්‍රිය හැර දැන් අපට වෙන සහායකයෙක් නැත. නුඹලා කිසි විටෙකත් කෝප නොකර රජුත්, ගම්මුලාදැනියාත්, පාගන ඇතුනුත්, තමනුත් ගැන සමසිත් ඇතිකරගෙන මෙත් සිතම ඇති කර ගනිවු“ යයි අවවාද දුන්නේය. හැමෝම එසේ කළහ. මෛත්‍රියේ ආනුභාවයෙන් ඇතුට ඔවුන් ළගටවත් ඒමට නොහැකි විය.

රජු ඒ පුවත අසා, “බොහෝ දෙනෙක් ඇති නිසා ඇතු ඔවුන් පාගා දමන්ට ශක්තිමත් නොවෙති. පැදුරකින් වසා පාගවවු“ යැයි කීවේය. ඔවුහු පැදුරකින් වසා පෑගවීම පිණිස යැවූ ඇතා දුර සිටම නික්මී ආපසු ආවේය.

රජු එපුවත අසා ‘මෙතන මොකක් හරි කාරණයක් තියෙන්න ඕනේ‘ යැයි ඔවුන් කැඳවා මෙසේ විචාළේය.
“දරුවනි, ඇයි නුඹලා මට මෙහෙම කරන්නේ? මගෙන් මොකක්ද වෙච්ච අඩුපාඩුව? මා නිසා ඔබලාට නොලැබෙන්නේ මොනවාද?“
“දේවයන් වහන්ස, එසේ අසන්නේ ඇයි?“
“නුඹලා කල්ලියක් වී, සොරුන් බවට පත්වී වනයේ හැසිරෙන්නේ ඇයිද?“
“දේවයන් වහන්ස, කවුද එහෙම කිවුවේ?“
“ගම්මුලාදැනියා තමයි කිවුවේ.“
“අනේ දේවයන් වහන්ස, අපි හොරු නෙමේ. අපි අපේ දෙව්ලොව මාර්ගය සකස් කරගන්න මේ මේ දේවල් කරා. ගම්මුලාදැනියා අපිව වැරදි වැඩවල යොදවන්න හැදුවා. අපි ඒවා කළේ නැති නිසා තරහට අපව වනසා දැමීමට මෙසේ කියන්ට ඇති“ යැයි කීවෝය.

“අනේ දරුවනි, මේ තිරිසනා පවා නුඹලාගේ ගුණය දැනගත්තා. මම මිනිසකු වෙලත් ඒක දැනගන්න බැරිවුණා. මට සමාව දෙන්න.“ මෙසේ කියූ රජු, දූදරුවන් සහිත ඒ ගම්මුලාදෑනියාව දාසයන් හැටියටත්, නැග යනු පිණිස ඇතාත් දී ඒ ගම ඔවුන් කැමති පරිදි ප්‍රයෝජනයට ගන්න කියලා පවරා දුන්නේය.

බොහෝ සතුටට පත් වූ ඔවුහු එකතු වී,
“දැක්කා නේද අපි කරපු පිනෙහි ආනිසංස මෙලොවදීම ලැබුණ හැටි? දැන් අප විසින් කිසියම් විශේෂ පින්කමක් කළ යුතුය. කුමක්ද කරන්නේ?“
“අර හතරමං හන්දියේ ස්ථිරව පවත්නා ලෙසට මහාජනයා උදෙසා විශ්‍රාම ශාලාවක් හදමු.“

මෙසේ කතාකරගත් ඔවුහු වඩුවකු ගෙන්වා ගෙන ශාලාව ගොඩ නැගීම ආරම්භ කළෝය. කාන්තාවන්ගේ විවිධ කල්පනා ඇති නිසා ඒ ශාලාවෙහි වැඩ කිරීම සඳහා කාන්තාවන්ට හවුල් වීමට ඉඩ නොදුන්හ.

මඝ තරුණයාගේ ගෙදර නන්දා, චිත්‍රා, සුධර්මා හා සුජාතා යන නම් ඇති අඹුවෝ හතර දෙනෙක් වෙති. එයින් සුධර්මා වඩුවා සමග එකතු වී “සහෝදරය, මේ ශාලාවෙහි මා ප්‍රධාන බවට පත් කරන්න ඕනා“යි කියා අල්ලස් දුන්නාය. ඔහුත් “හා, හොඳයි“ කියා පිළිගෙන මුලින්ම කැණිමඩල සඳහා ගසක් කපා වියළවා සැස විද කැණිමඩල හදලා එහි ‘සුධර්මා ශාලාව‘ යයි අකුරු කොටා රෙද්දකින් වසා අරන් තිබ්බේය. ඉන්පසු ශාලාවේ වැඩ නිමවා කැණිමඩල නංවන දිනයේ,

“අනේ, එක් දෙයක් අමතක වුණානේ“ යයි කීය.
“ඒ මොකක්ද ඒ?“
“ඇයි කැණිමඩල?“
“හරි, මම දැන් එකක් හදාගෙන එන්නම්“
“දැන් කැපූ ගහකින් ඒක කරන්න බෑ. කලින් කැපූ ගහකින් හදපු කැණිමඩලක්ම වෙන්න ඕනේ“
“දැන් මොකද කරන්නේ?“
“ඔය කාගේ හරි ගෙයක හදලා විකිණීමට තියෙන කැණිමඩලක් එහෙම තියෙනවාද කියලා හොයලා බලමු.“

ඔවුහු එකතු වෙලා සොයන කොට සුධර්මාගේ ගෙදර ඇති කැණිමඩල දැක කහවණු දහසක් දී ඉල්ලුවත් ඇය ඊට අකමැති විය.
“මාවත් ඔය ශාලාවේ හවුල් කාරියක් කරනවා නම් විතරක් මේක දෙනවා“
“නෑ, නෑ, අපි මේකට කාන්තාවන් හවුල් කරගන්නේ නෑ.“

එවිට වඩුවා මැදිහත් වී “මේ අහන්නකෝ, ඕක ඔච්චර හිතන්න එපා. බ්‍රහ්ම ලෝකයේ විතරයි කාන්තාවන් නැත්තේ. අපි මේ කැණිමඩල ගනිමු. එතකොට අපේ වැඩෙත් ඉක්මන් වෙනවා.“

ඔවුහු කල්පනා කොට “හා, එහෙනම් හොඳය“යි කියා කැණිමඩල ගෙන ශාලාව නිමා කර එය තුනකට බෙදූහ. එක් කොටසක් ඉසුරුමතුන්ගේ වාසස්ථානයක් වශයෙන්ද, එකක් දුප්පතුන්ටද, එකක් ගිලනුන්ටද වශයෙනි. තිස්තුන්දෙනා විසින් පුවරු තිස්තුනක් තබා ඇතාට ඒ පිළිබඳ පුහුණුවක් ලබා දුන්හ. ආගන්තුකයෙක් ඇවිත් යමකු විසින් තබන ලද පුවරුවෙහි හිඳගත්තොත් ඒ පුවරුව රැගෙන පුවරුව හිමියාගේම ගෙදර තබන්න කියාය. ඉන්පසු ඒ ආගන්තුකයාගේ ඇපඋපස්ථාන සියල්ලම ඒ පුවරු හිමියාටම භාර වන්නේය.

ඇතාද ආගිය අයගේ පුවරු අදාළ හිමියාගේ ගෙදරට ම ගෙන යයි. පුවරු හිමියා ඒ ආගන්තුකයාට ඒ දවසේ කළයුතු සියලු ඇපඋපස්ථාන කරයි. මඝ තරුණයා විසින් ශාලාව සමීපයෙහි එක් කොබෝලීල ගසක් රෝපණය කර ඒ ගසමුල ගල් පුවරුවක් ද තැබුවේය. ශාලාවට ආ අය කැණිමඩල දෙස බලා එහි ඇති අකුරු කියවා “මේ ශාලාව සුධර්මා ශාලාවයි“ යනුවෙන් කියති. අනිත් තිස් තුන්දෙනාගේ නම් නොකියවෙයි. ප්‍රකට නොවෙයි.

නන්දා නම් වූ භාර්යාව මෙසේ සිතුවාය. “‘මොවුහු ශාලාව කරන අතර අපව ඊට හවුල් කර ගත්තෙත් නෑ. සුධර්මා නම් තම බුද්ධිය නිසා කැණිමඩලක් ලබා දී හවුල් වුණා. මාත් යමක් කරන්න ඕනේ. කුමක්ද කරන්නේ?“යි සිතුවාය. ඈට මෙබඳු අදහසක් ඇතිවිය. “මේ ශාලාවට එන අයට බීමට ජලයත් නෑමට ජලයත් අවශ්‍ය වේ. පොකුණක් හැදෙව්වොත් නම් හොඳයි.“ කියා සිතා ඈ පොකුණක් කැණවුවාය.

චිත්‍රා නම් බිරිය මෙසේ සිතුවාය. “සුධර්මා මේ ශාලාවට කැණිමඩලක් දුන්නා. නන්දාත් පොකුණක් කරවූවා. මාත් යමක් කළ යුතුය. කුමක්ද කරන්නේ?“ යි සිතන්නී ඈට මෙබඳු අදහසක් ඇති විය. “ශාලාවට පැමිණි අය වතුර බී නා යන කල මල් පැළඳ යා යුතුය. මම ඒ සඳහා මල් උයනක් කරවන්න ඕනේ“ යි සිතා ඉතාමත් රමණීය මල් උයනක් කරවූවාය. ඒ උයන තුළ බොහෝ මල් ගස්, පළතුරු ගස් තිබුණි. අසවල් නම් මල් නොපිපෙන අසවල් නම් ගෙඩි නොපලගන්නා ගසක් නැත්තේයයි කීමට බැරි විය.

සුජාතා මෙසේ සිතුවාය. “මම මඝගේ මාමාගේ දුව වෙමි. මඝගේ භාර්යාවද වෙමි. ඔහු කළ දේ මටත් අයිතියි, මා කරන දේ ඔහුටත් අයිතියි“ යි සිතා අමුතු දෙයක් නොකොට තම සිරුරම අලංකාර කරමින් කාලය ගත කළාය.

මඝ තෙමේත්, සප්තවතපද සපුරා, ප්‍රශංසනීය බවට පැමිණ දිවි කෙළවර තව්තිසා භවනයෙහි සක්දෙව්රජව උපන්නේය. ඔහුගේ සහායකයෝ ද එහිම උපන්හ. වඩුවා විශ්වකර්ම දිව්‍යපුත්‍රව උපන්නේය. එකල තව්තිසා භවනයෙහි අසුරයෝ වාසය කළහ. ඔවුහු අලුතින් දිව්‍යපුත්‍රයෙක් උපන්නේයයි අසා දිව්‍යමය සුරා ආදී පානවර්ග පිළියෙල කළහ. ශක්‍රයා, තම පිරිසේ කිසිවකුත් ඒවා නොබොන ලෙස සංඥා කෙළේය. අසුරයෝ බී මත්වූහ. ශක්‍රයා “මොවුන් සමග එකතුව රාජ්‍යය කරන්නේ මොකටද?‘ යි පිරිසට සංඥා කොට අසුරයන් කකුල්වලින් අල්ලා මහ මුහුදට විසිකරවූයේය. ඔවුහු හිස් පහතට හැරී මුහුදෙහි වැටුණාහ. ඉන්පසු ඔවුන්ගේ පින්බලයෙන් මහමෙර පාමුල අසුර නම් විමානයක් පහළ විය. සිත්පළොල් ගසක්ද පහළ විය.

දේව අසුරයන් අතර වූ යුද්ධයෙන් අසුරයන් පරාජිතවූ පසු දේවනගර නම් වූ තව්තිසාව යොදුන් ලක්ෂයක් පමණ විශාල විය. එහි පෙරදිග හා අපරදිග අතර ප්‍රමාණය යොදුන් ලක්‍ෂයකි. දකුණු උතුරු දොරටු අතරද එපමණ ම විය. ඒ නගරයෙහි දොරටු දහසකි. මල්වතු හා පොකුණුවලින් සමන්විතය. එහි මැදශාලාවෙහි ඔවුන්ගේ අනුහසින් යොදුන් තුනක් පමණ උස ඇති ධජවලින් යුතු විය. යොදුන හතක් පමණ උස වෛජයන්ත නම් ප්‍රාසාදයකි. රන්ලී අග මැණික් ධජද, මැණික්ලී අග රන්ධජද, පබළුලී අග මුතුධජද, මුතුලී අග පබළුධජද, සත්රුවන්ලී අග සත්රුවන්ධජද වශයෙන් ශාලාව අවට ඔවුන්ගේ අනුහසින් යොදුන් සියයක් උස ප්‍රාසාදය සත්රුවනින්ම නිමවී තිබුණි.

මඝ විසින් කොබෝලීල රුකක් රෝපණය කළ පිනේ මහිමයෙන් හාත්පස යොදුන් සියයකින් වටවූ පරසතු මදාරා ගසක් ඇතිවිය. ගල්පුවරුවක් පිහිටුවීමේ අනුහසින් පරසතුමදාරා රුක්මුල දිගින් යොදුන් හැටක්ද, පළලින් යොදුන් පනහක්ද, ඝනත්වයෙන් යොදුන් පහළවක්ද ඇති බඳුවදමල් පැහැ ඇති පාණ්ඩුකම්බල ශෛලාසනයද හෙවත් පඬුපුල් ආසනය පහළ විය. එහි හිඳගත් විට කයින් භාගයක් පමණ යටට එරී යයි. නැගිටි විට එය උඩට අවුත් සම්පූර්ණ වෙයි.

ඇතා ඓරාවණ නම් දිව්‍යපුත්‍රයෙක්ව උපන්නේය. දෙව්ලොව තිරිසනුන් නැති නිසා ඔහු උයන් කෙළියට යන වි සිය ආත්මභාවය හැර යොදුන් එක්සිය පනහක් පමණවූ ඓරාවණ නම් ඇත් වේශයක් මවා ගනී. ඔහු තිස්තුන්දෙනාට කුම්භස්තල තිස්දෙකක් මවාගනී. ඒවා දිගින් ගවුසියයක් පමණ වෙයි. සියලු කුඹු මැද ශක්‍රයා සඳහා සුදර්ශන නම් යොදුන් තිහක් පමණ කුඹක් මැවෙයි. ඒ මතුපිට දොළොස් යොදුනක් පමණවූ සත්රුවන්මය යොදුනක් උස ධජ එසවයි. ධජ කෙළවර කිංකිණිදැල් එල්බෙයි. ඒවා මදසුළඟ වැදී පංචාංගිකතුර්ය ශබ්ද හා මිශ්‍රව දිව්‍යමය සංගීත ශබ්ද මෙන් හඬ නිකුත් කෙරෙයි. මණ්ඩපය මැද ශක්‍රයා සඳහා යොදුනක් පමණ වූ මාණික්‍යමය පළඟක් පණවා තිබේ. ශක්‍රයා එහි හිඳගනී. තෙතිස් කුඹුවලින් එක් කුඹක දළ සතක් බැගින් මැවෙයි. එයින් එකක් යොදුන් පනහක් බැගින් දිගය. ඒ එක් එක් දළයක පොකුණු සත බැගින් වෙයි. හැම පොකුණකම නෙළුම්ගස් සත බැගින් වෙයි. ඒ ගසක් පාසා මල් සත බැගිනි. එක් එක් මලකට පත්‍ර සත බැගින් වේ. ඒ එක් එක් පත්‍රයක දෙව්දූන් සත්දෙනෙක් නටති. මෙසේ හාත්පස යොදුන් පනහක් පමණ තැන ඇත්දළ උඩම නැටුම් ගැයුම් සැණකෙළි පැවැත්වේ. ශක්‍රයා මෙසේ මහත්වූ සැපසම්පත් අනුභව කෙළේය.

සුධර්මාද කළුරිය කොට ගොස් එහිම උපන්නීය. ඈට සුධර්මා නමින් යොදුන් නවයක් පමණ වූ දිව්‍ය සභාවක් විය. ඊට වඩා රමණීය වූ වෙනත් තැනක් නම් නැති තරම්ය. මාසයේ දින අටක් දහම් ඇසීම එහිම සිදුවිය. අද පවා රමණීය වූ තැනක් දුටු විට ‘හරියට සුධර්මා දිව්‍ය සභාව වගේ‘ යැයි කියති.

නන්දාද කළුරිය කොට ඒ දෙව්ලොවම උපන්නීය. ඈට යොදුන් පහක් පමණ වූ නන්දා නම් පොකුණක් විය. චිත්‍රාද කළුරිය කොට ගොස් ඒ දෙව්ලොවම උපන්නීය. ඈට ද යොදුන් පන්සීයක් පමණ වූ චිත්‍රලතාවනය නමින් තැනක් පහළ විය. ඉපදීමට පූර්වනිමිති සොයන දෙවිවරු එහි පමුණුවා මෝහයෙන් හැසිරෙති.

සුජාතාව කළුරිය කොට එක් කඳුකරයක කෙකිණියකව උපන්නීය.
ශක්‍රයා තමන්ගේ අඹුවන් ගැන සලකා බලන විට, ‘‘සුධර්මා මෙහිම උපන්නාය. නන්දා, චිත්‍රා යන අයද එසේමය. සුජාතා කොහි උපන්නේද?‘‘ කියා බලන විට ඈ උපන් තැන දැක “අනේ මේ මෝඩ කාන්තාව කිසිම පින්කමක් නොකර තිරිසන් යෝනියක ඉපදිලානේ. දැන් හරි පිනක් කරවලා මෙහි රැගෙන ආ යුතුය“ යි සිතා තමන්ගේ වේශය හැර දමා වෙනත් රූපයකින් ඈ සමීපයට ගොස්,
‘‘මෙහෙට වෙලා මොකද කරන්නේ?“ කියා ඇසීය.
“ස්වාමීනි, ඔබ කවුද?“
“මම ඔබේ කලින් සැමියා වූ මඝ වෙමි“
“ස්වාමීනි, ඔබ උපන්නේ කොහේද?“
“මම තව්තිසාවේ ඉපදුනා. නුඹේ අනිත් සහායිකාවන් උපන් තැන දන්නවාද?“ “දන්නේ නෑ“
“ඔවුන්ද මා ලඟම ඉපදිලා ඉන්නේ. ඔවුන්ව දකින්න කැමතිද?“
“ස්වාමීනි, මම කොහොමද එහෙට යන්නේ?“
“මම ඔබව එහෙට එක්කගෙන යන්නම්“ කියා ශක්‍රයා කෙකිණිය අතින් ගෙන දෙව්ලොවට ගොස් නන්දාගේ පොකුණ ළඟ අතහැර දමා අනිත් තිදෙනාට දන්වා යැවීය.
“ඔබලාගේ සහායිකා සුජාතා දකිනු කැමැත්තහුද?“
“දේවයන් වහන්ස, ඇය කොහේද?“
“අන්න නන්දා පොකුණ ලඟ ඉන්නවා.“
ඒ තිදෙනාම එහි ගොස් බලා “අනේ ආර්යාවනි, රූපයම හැඩ වැඩ කර කර ඉඳලා දැන් මෙයාට ලැබිලා තියෙන රූපය බලන්නකෝ. මේ මොකද වෙලා තියෙන්නේ? මේකද මේ රූපය ලස්සන කරහම ලැබෙන ඵලය? බලන්නකො මේ හොට දිහා! මේ කකුල්! මේ කෙණ්ඩා! හරි ලස්සනයි නේද?“ යනුවෙන් විහිළු තහළු කොට යන්න ගියෝය.

ඉන්පසු ශක්‍රයා ඈ ළඟට විත්
“ඔබේ සහායිකාවන් දැක්කාද?“
“දැක්කා ස්වාමීනි, ඔවුහු මට අවමන් කොට ගියා. අනේ ස්වාමීනි, මා සිටි තැනටම ගෙන යන්න“යි කී කල්හි ඈ එහිම ගෙන ගොස් දියට දමා
“තී ඔවුන්ගේ සැප සම්පත් දැක්කාද?“යි ඇසුවේය.
“දැක්කා ස්වාමීනි“
“ඔබත් එහේ උපදින්න කැමති නම් කරන්න වැඩක් තියෙනවා“
“ස්වාමීනි, මා කුමක්ද කරන්න ඕනේ?“
“මං කියන විදියටම වැඩ කරනවාද?“
“හොඳමයි දේවයන් වහන්ස.“
ඉන්පසු සක්දෙව්රජු ඇයව පන්සිල්වල පිහිටවා ‘නොපමාව සිල් රකින්න‘ යැයි කියා ගියේය.

ඇයද එතැන් පටන් මිය ගිය මාලුවන්ම පමණක් සොයා කයි. ශක්‍රයා කීපදිනකින් ඈ විමසනු පිණිස එහි ගොස් වැල්ල මතුපිට මැරුණු මාලුවෙක් මෙන් සිටියේය. ඈ ඒ දැක ‘මැරුණු මාලුවෙක්‘ යන හැඟීමෙන් ඩැහැ ගත්තාය. මාලුවා ගිලින වේලාවෙහි නගුට සෙලවීය. ඈ ‘මේ පණ තියෙන එකෙක්‘ කියා වතුරෙහි දැමුවාය. ඔහු තව ටිකක් දුර ගොස් නැවතත් ඇගේ ඉදිරියෙහි උඩුකුරුව පෙරළී සිටියේය. නැවත ඈ ‘මැරුණු මාලුවෙක්‘ යයි සිතා ඌ රැගෙන ගිලින කල්හි නගුටු අග සෙලවීය. ඒ දැක ‘මේත් පණ තියෙන එකෙක්‘ කියා මුදා හැරියාය. මෙසේ තුන්පාරක්ම පරීක්ෂා කර ‘බොහෝම හොඳයි. හොඳට සිල් රකිනවා වගේ‘ යැයි සිතා තමන් ව හඳුන්වා දී “මම මේ නුඹව පරීක්ෂා කරන්නයි ආවේ. නුඹ හොඳින් සිල් රකිනවා. මෙසේ සිල් රැකීමෙන් ඉක්මනින්ම මා ලඟට එන්න පුළුවන් වේවි, ඒ නිසා ප්‍රමාද වෙන්න එපා“ යයි කියා ගියේය.

මෙසේ සිල් රකින ඈට ඇතැම් විට කෑමට මැරුණු මාලු ලැබෙයි. ඇතැම් විට නොලබයි. එබැවින් ටික දවසකින්ම නිරාහාරව සිට වියළී ගොස් කළුරිය කොට ඒ සීලයේ ඵල වශයෙන් බරණැස් නුවර කුඹලාගේ දුවණියකව උපන්නීය. කුඩා කළ පටන්ම ඇය පෙර පුරුද්ද නිසා පන්සිල් රකින්නීය. ඇගේ දොළොස් වැනි පසළොස් වැනි වයස් කාලයෙහි, සක්දෙව්රජු විසින් ‘ඈ කොහි උපන්නීද‘ යි විමසා බලා ඈ සිටි තැන දැක ‘දැන් මා එහි යා යුතුය‘ යි සිතා කැකිරිගෙඩි මෙන් පෙනෙන සේ සප්ත රත්නයන්ගෙන් ගුළි තනා රථයක් පුරවාගෙන දක්කාගෙන අවුත් බරණැසට පිවිස “කැකිරි ගනුව“ යි කෑ ගසමින් වීථියට පැමිණියේය. මුං මෑ ආදිය රැගෙන ආ අය “කැකිරි දෙන්න“ය ඉල්ලූ විට “මිලට නොදෙමි“යි කීය. “දෙන්නේ කෙසේද?“යි ඇසූ කල “සිල් රකින ස්ත්‍රියකට දෙමි“යි කීය.

“ස්වාමීනි, සීල් කියන්නේ මොනවාද? ඒක කොයිවගේද? කළුපාටද? සුදුපාටද? නැතහොත් නිල්පාටද?“ යි ඇසූහ. “නුඹලා සීලය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑනේ. ඉතින් සිල් රකින්නේ කොහොමද? කොහොම වුණත් සිල් රකින කෙනෙකුට තමයි දෙන්නේ“යි කීය. “හිමියනි, මේ කුඹලාගේ දුව නම් සිල් රකිනවා යැයි කියමින් ඇවිදියි. ඇයටම දෙන්න“ යි කී විට, ඈ ද පැමිණ “එසේ නම් හිමියනි මට දෙන්න“යි ඉල්ලුවාය. “තී කවර තැනැත්තියක්ද?“යි ඇසීය. “මම නොකඩවා පන්සිල් රකින කෙනෙකි“ යි පැවසූ කල, “එහෙනම් මේ සියල්ල මම ඔබට දෙන්නෙමි“යි ගැල ඇගේ ගෙදරටම පදවා ගෙන ගොස්, වෙන කෙනෙකුට ගන්න බැරි වෙන විදියට කැකිරි මෙන් පෙනෙන ධනය දී තමන්වත් හඳුන්වා දී “මේ ඔබ සිල් රැකීමෙන් උපදවා ගත් ධනයයි. ඒ නිසා පන්සිල් කඩ නොකොට රකින්න“යි කියා ගියේය.

ඇය ද ඒ ධනයෙන් සුවසේ ජීවත් වී මිය ගොස් ශක්‍රයාගේ හතුරු වූ අසුර භවනයෙහි ප්‍රධාන අසුරයාගේ දුව වී උපන්නාය. ආත්ම භාව දෙකක් සිල් ආරක්ෂා කළ නිසා රන්වන් වූ අසාධාරණ රූසපුවකින් හෙබි අභිරූපිකාවක් වූවාය. වේපචිත්ති අසුරිඳු විසින් ඇයව ලබා ගැනීමට එන එන අසුරයන්ට “නුඹලා නම් මගේ දුවණියට සුදුසු අය නොවේ“ යයි කියයි. ඈ කිසිවකුටත් පාවා නොදී “මගේ දුව තමාම තමන්ට සුදුසු ස්වාමියකු තෝරා ගන්න ඕනේ“ යැයි කියා අසුර හමුදාව රැස් කරවා “ඔබට සුදුසු සැමියකු තෝරා ගන්න“ යැයි ඇගේ අතට මල්මාලයක් දුන්නේය.

ඒ වෙලාවේ සක්දෙව්රජ ඈ උපන් තැන සොයා බලා එහි සිදුවන දේ දැන “දැන් මා ගොස් ඈ ගෙන ආ යුතුය“ යි සිතා මහලු අසුර වේශයක් මවාගෙන එහි ගොස් පිරිස් කෙළවර සිටියේය. ඈ එක් එක් අසුරයන් දෙස බලමින් ඇවිත් මහලු වේශයෙන් සිටි සක්දෙව්රජු දැක පෙර සසරේ බැඳීම නිසා උපන් ප්‍රේමයෙන් මහාමේඝයක් එක් අතකට වැටුණාක් මෙන් ඔහු ළඟට පැමිණ “මේ මාගේ සැමියාය“ යි කියා ඔහුගේ ගෙල මත මල්මාලය දැමීය.

අනෙක් අසුරයෝ “අනේ අපේ රජතුමාත් මෙතෙක් කල් දුවට ගැලපෙන කෙනෙක් නෑ කිය කිය ඉඳලා දැන් ලැබුණු කෙනා දිහා බලන්නෙකෝ. මොහු නම් දියණියගේ මුත්තාටත් වඩා මහලුයි වගේ. කමක් නෑ දෙන්නටම ගැලපෙනවානේ“ යි කියමින් ලජ්ජාවෙන් ගියහ. ශක්‍රයාත් ඈ අතින් ගෙන “මම තමයි ශක්‍රයා“යි කෑ ගසා අහසට පැන නැංගේය. අසුරයෝ, “මේ මහලු ශක්‍රයා අපව රැවැට්ටුවානේ“ යි ඔහු පසු පස එළවාගෙන ආවෝය. මේ අතර මාතලී දිව්‍යපුත්‍ර සහායකයා වෛජයන්ත රථය ගෙනවුත් අතරමග බලා සිටියේය. ශක්‍රයා ඈ ඒ මත නංවාගෙන දිව්‍ය නගරය දෙසට ගියේය.

අතරමගදී රථය සිම්බලී වනයට ඇතුළු වූ විට රියෙහි හඬ ඇසූ එහි සිටි ගුරුළු පැටව් කෑ ගසන්නට වූහ. ඔවුන්ගේ හඬ ඇසූ ශක්‍රයා, “මේ හඬන්නේ කවුරුන්ද?“යි මාතලීගෙන් ඇසීය. “දේවයිනි, ඒ ගුරුළු පැටව්“ යි කීය. “ඇයි උන් හඬන්නේ?“ “ස්වාමීනි, මේ වනයේ උන්ගේ කූඩු හදලා තියෙනවා. ඒවා උඩින් රථය ගියොත් උන්ගේ කූඩු විනාශ වෙන නිසා රථයේ හඬට මරණ බයෙන් තමයි හඬන්නේ“ යැයි ඔහු කීය. ‘එක් අයකු නිසා මෙපමණ පිරිසකගේ ජීවිත නොනැසිය යුතුය‘යි සිතූ සක්දෙව්රජු “වහාම රථය නවත්වන්න“යි කීය. මාතලී රථයේ බැඳ සිටි සෛන්ධවයන් දහසට කෙවිටි සංඥාව දී රථය නැවැත්වීය. ඒ දුටු අසුරයෝ ‘‘මේ මහලු ශක්‍රයා අසුරපුරයෙන් පලා ඇවිත් දැන් රථය නවත්තගෙන ඉන්නේ ඇයි? එකත් එකටම මොහුට සුරයන්ගේ උදව් ලැබිලා ඇති“යි කියා සිතා නැවතී නැවත හිස ඔසවා නොබලාම ආපු පාරෙන්ම අසුර පුරයට ගියෝය.

ශක්‍රයාද සුජාතා අසුර කන්‍යාව දේව නගරයට ගෙන ගොස් කෝටි තුනක් වූ දෙවඟනන්ට ඉහළින් ප්‍රධාන ස්ථානයෙහි තැබීය. ඈ ශක්‍රයාගෙන් වරයක් ඉල්ලුවාය. “මහරජතුමනි, මට මේ දිව්‍ය ලෝකයෙහි මවුපියන් හෝ සොහොයුරු සොහොයුරියන් හෝ නැත. යම් තැනක ඔබ යන්නේ නම් ඒ හැම තැනටම මාවද රැගෙන යා යුතුයි“ යනු ඒ වරයයි. ඔහු ද “හොඳයි“ කියා ඇයට පොරොන්දු විය.

අසුර භවනයෙහි ඇති චිත්‍රපාටලී ගසේ මල් පිපෙන කාලයේදී, “මේ අපගේ දිව්‍යමය මදාරාගසේ මල් පිපෙන කාලයයි“ කියා අසුරයෝ සටනට නික්මෙති. ශක්‍රයාද මුහුද යට ආරක්ෂාව සඳහා නාගයන් යෙදෙව්වේය. ඉන් උඩ ගුරුළන්, කුම්භාණ්ඩයන්, යක්ෂයන් හා එයිනුත් උඩ සතරවරම් දෙවියන්ද, දේව නගරයෙහි සියලු දොරටුවල වජ්‍රායුධය අතින් ගත් ශක්‍ර ප්‍රතිමාද කරවීය. අසුරයෝ නාගාදීන් සිඳ දමා පැමිණි නමුත් ශක්‍ර ප්‍රතිමා දැක “ශක්‍රයා එනවා“යයි සිතා පලා යති.

බුදුරජාණන් වහන්සේ මේ කථාව දේශනා කොට “මහාලිය, මඝ තරුණයා මේ විදියට අප්‍රමාද ප්‍රතිපදාවට පැමිණියේය. මෙසේ අප්‍රමාදයෙන් මොහු මේ වගේ ඉසුරුමත් බවට පැමිණ දෙව්ලොව රාජ්‍යය කෙළේය. මේ අප්‍රමාදය වූ කලි බුද්ධාදීන් විසින් ප්‍රශංසා කරන ලද්දකි. අප්‍රමාදය නිසා සියලු ලෞකික ලෝකෝත්තර විශේෂ අධිගමයන්ට පැමිණිය හැකි වන්නේය“ යි මේ ගාථාවද දේශනා කළ සේක.

“අප්පමාදේන මඝවා - දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති - පමාදෝ ගරහිතෝ සදා“

(මඝ නම් මානවකයා නොපමාව වැඩ කරමින් දෙවියන් අතර ‍ශ්‍රේෂ්ඨ භාවට පත්විය. නොපමා බව ප්‍රශංසාවට හේතු වේ. ප්‍රමාද බව නිරන්තරයෙන්ම ගැරහුමට ලක් වේ.)

ගාථාව අවසානයේදී මහාලි ලිච්ඡවි සෝවාන් ඵලයෙහි පිහිටියේය. තවත් බොහෝ පිරිසක් සෝවාන් ආදී තත්ත්වවලට පැමිණියෝය.

රේවතියට පලදුන් අතිබිහිසුණු කර්ම විපාකය===============================භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදායෙහි...
07/06/2026

රේවතියට පලදුන් අතිබිහිසුණු කර්ම විපාකය
===============================
භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදායෙහි වාසය කරන සමයේ බරණැස් නුවර ශ්‍රද්ධා සම්පන්න වූ දන් දෙන්නා වූ දෙන දෙය ද මනාව සකස්කොට දෙන්නා වූ, සංඝයාට උවටැන් කරන්නා වූ කුලගෙයක ‘නන්දිය’ නම් වූ උපාසකයෙක් වාසය කළේය. එකල්හි ඔහුගේ මව්පියෝ ඉදිරිපස පිහිටි නිවසකින් මාමා කෙනෙකුගේ දියණියක වූ රේවතී නම් කාන්තාවක කැඳවාගෙන ඒමට කැමති වූවාහුය. ඇය වනාහී ශ්‍රද්ධා නැත්තීය. දන් නොදෙන සුළුය. ඒ නිසා නන්දිය තෙමේ ඇයට කැමති නුවූයේය. ඔහුගේ මව රේවතියට, “දුවනියනි, ඔබ මේ නිවසට පැමිණ භික්‍ෂු සංඝයාට හිඳිනා තැන් ද, පලාවන් ගොමවලින් පොළව පිරිබඩගා පිරිසිදු කොට එහි අසුන් පනවන්න. ආධාරක ස්ථාන පිළියෙල කරන්න. භික්‍ෂූන් පැමිණිකල වැඳ පාත්‍රා ගෙන වඩා හිඳුවා පෙරහන්කඩයෙන් පැන් පෙරා ආහාර පූජාකොට ආහාර වැළඳූ කල්හි පාත්‍රා සෝදන්න. මෙසේ කිරීමෙන් මගේ පුත්‍රයාගේ සිත් ගැනීමට කටයුතු කරන්න“ යැයි කීවාය. ඉක්බිති ඇය අවවාද ඉවසන තැනැත්තියක් වීම නිසා ඇය එසේ කළාය. ටික දවසක් මෙසේ කරද්දී මව නැවත පුතා හට කියා ඔහු විසින් යහපතැයි පිළිගනු ලැබූ කල්හි දින නියමකොට ආවාහය සිදු කළේය.
ඉන්පසු නන්දිය තෙමේ ඇයට ‘ඉදින් භික්‍ෂු සංඝයාට ද මගේ මව්පියන්ට ද උවටැන් කරන්නෙහි නම් මේ නිවසෙහි විසීමට අවසර ලබන්නෙහිය’ යයි කීය. ඕ තොමෝ යහපතැයි පිළිගෙන යම්කිසි කලක් ශ්‍රද්ධාවන්තියක ලෙස වාසය කරමින් ස්වාමියාගේ සිත් ගෙන පුතුන් දෙදෙනෙකු ද ලැබුවාය. නන්දියගේ දෙමව්පියෝ කළුරිය කළහ. නිවසෙහි සියලුම සම්පත්වල භාරකාරිය ඇයම වූවාය. නන්දිය තෙමේද මහා දානපතියකු වී භික්‍ෂු සංඝයාට දානය පැවැත්වීමද, දුගී මගී යාචකාදීන්ට ගෙදර දොරටුවෙහි දන්සල් පැවැත්වීමද කරවීය. ඉසිපතන විහාරයේ කුටි හතරකින් යුත් සාලුවක් හතරක් කරවා ඇඳ පුටු ආදියට රෙදි අතුරුවා, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙත දන් පුදා ශාස්තෲන් වහන්සේගේ අතෙහි පූජාව පිණිස වූ අත පැන් වත්කොට ඒ පැන් බිඳුවලින් බිම ස්පර්ශ කරවා ශාලාව සංඝයාට පවරා දුන්නේය. එසේ අත පැන් වත්කිරිමක් සමගම තව්තිසා භවනයෙහි දිගින් හා පුළුලින් අවටින් යන වශයෙන් දොළොස් යොදුන් වූ, යොදුන් සියයක් උස් වූ සත්රුවන්මය වූ දහසක් අප්සරාවන් සහිත වූ දිව්‍ය ප්‍රාසාදයක් ඔහු වෙනුවෙන් පහළ වූයේය.
මෙසේ නන්දිය තෙමේ වැඩියෙන් දන් දෙයි. පින්කරයි. වෙළඳාම සඳහා යන්නා වූ නන්දිය තෙමේ, රේවතිය අමතා, “සොඳුර, මා විසින් සංඝයා කෙරෙහි තබන ලද දානය ද අනාථයන් කෙරෙහි ද තබන ලද දන්වැට ප්‍රමාද නොවී ඔබ විසින් පවත්වාගෙන යා යුතුය“යි කීය. ඇය යහපතැයි කියා එකඟ වූවාය. ඒ නන්දිය වෙළඳ ගමේ දුරු රට ගියේ නමුදු යම් යම් තැන නවාතැන් ගනියි ද, ඒ ඒ තහිදී භික්‍ෂූන්ට ද අසරණයන්ට ද සම්පත් ඇති පරිද්දෙන් දන් දෙන්නට පටන් ගත්තේය. ඔහුට අනුකම්පාවෙන් රහතුන් වහන්සේලා දුර සිට පැමිණ දන් පිළිගත්හ.
රේවතිය වනාහි ඔහු ගිය කල්හි ටික දිනක් දන්වැට පවත්වා අසරණයන්ට දෙන දන්වැට නවත්වා දැමීය. භික්‍ෂූන්ට ද සුන්සහල් බත් හා ඇඹුල් කාඩි සමග දුන්නාය. භික්‍ෂූන් අහර වැළඳු තැන තමන් විසින් බත් කා මාලු කටු, ඇටකැබලි, කරපිංචා කොළ ආදී අපද්‍රව්‍ය දමා හැඩිකර, “ශ්‍රමණයන්ගේ හැටි බලන්න. සැදැහැතියෝ දුන් දෙය මෙසේ ඉවත දමති“යි ශ්‍රද්ධාවන්තයින් ගෙන්වා ඔවුන්ට පෙන්වා භික්‍ෂූන්ට දොස් පවරයි.
වෙළඳාම සඳහා පිටරට ගිය නන්දිය තෙමේ වෙළඳ කටයුතු නිමවා ලැබුණු ලාභ ඇතිව ආපසු පැමිණ, දන්වැට නැවතීමේ තොරතුරු අසා රේවතිය නිවසින් බැහැර කරවා නිවසට පිවිසියේය. දෙවන දිනයේ බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයා නිවසට වඩමවා මහදන් පවත්වා නිතිපතා දෙන සලාක බත නැවත පිහිටුවා අසරණයන්ට දෙන බත් ද මනාව පැවැත්වීය. පසුව තමාගේ සහායකයන්ගේ පෙරැත්තෙන් රේවතිය නැවත කැඳවා ආහාර හා ඇඳුම්වලට පමණක් සීමාකර තැබුවේය.
හෙතෙමේ පසුකලක කළුරියකොට තව්තිසා භවනයේ තමන් වෙනුවෙන් පහළ වූ විමානයේම උපන්නේය. රේවතිය වනාහි සියලුම දන් දීම් සිඳ දමා “මොවුන් නිසා මගේ ලාභසත්කාර පිරිහී ගියේ ය“යි භික්‍ෂූන්ට ආක්‍රෝශ කොට පරිභව කෙරෙමින් හැසිරෙයි. ඉක්බිති වෛශ්‍රවණ තෙමේ යක්ෂයන් දෙදෙනෙකුට මෙසේ අණ කළේය. “කොල්ලනි, යව්. බරණැස් නුවර මෙසේ උඝෝෂණයක් කරවු. අදින් සත්වන දවසෙහි රේවතිය ජීවත්වෙමින් සිටියදීම (පණ පිටින්ම) නිරයට ඇද දමනු ලබන්නීය“ කියා කියව් යනුවෙනි. එය අසා මහජනයා සංවේගයට පත් වූහ. බියෙන් ත්‍රස්ත වූහ.
රේවතිය වනාහි ප්‍රාසාදයට නැගී දොර වසාගෙන හුන්නීය. සත්වන දිනයෙහි ඇගේ පාපකර්මය විසින් මෙහෙයවනු ලැබූ වෙසවුනු රජු විසින් අණකරන ලදින්, නිල්පැහැ කෙහෙ රැවුලින් බබළන්නා වූ, විරූපී කැඩුණු නාසිකා ඇති, වැඩුණා වූ දළ ඇති, ලේ පැහැගත් ඇස් ඇති, ජලය සහිත වළාකුලු වර්ණයෙන් යුත්, ඉතා භයානක රූපයෙන් යුත් යක්‍ෂයෝ දෙදෙනෙක් පැමිණ “පව්කාර රේවතිය නැගිටිනු“ යනාදිය කියමින් අත්වලින් අල්වාගෙන මහජනයා දැක ගනිත්වායි මුළු නුවරම වීදියක් වීදියක් ගානේ ගෙන යමින් වීථි රවුම්වල ඇවිද්දවා අහසට නැගී
තව්තිසා භවනට පමුණුවා නන්දියගේ විමානයට නුදුරෙහි තබන ලද්දේය. සූර්ය මණ්ඩලය මෙන් බබළන ඒ විමානය දැක රේවතිය ඒ යක්‍ෂයන්ගෙන් මෙසේ විචාළාය.
මේ විමාන කවරකුගේද? කවරනම් තැනැත්තෙක් මේ විමානයේ සතුටින් වෙසේද?
ඒ යක්‍ෂයෝ ඇයට මෙසේ පිළිතුරු දුන්හ.
“මසුරු නොවූ බොහෝ සේ දන් දෙන්නා වූ, යාචකයන්ගේ ඉල්ලීම් ගැන අවබෝධයෙන් යුක්ත වූ නන්දිය නම් උපාසක කෙනෙක් බරණැස් නුවර වාසය කළේය. දෙව්ලොව ජනතාවගෙන් පිරුණා වූ සූර්ය රශ්මියෙන් බබළන්නා වූ මේ විමානය ඒ නන්දිය උපාසකයාගේය. ස්වර්ගයට පැමිණ වූ ඒ නන්දිය නමැත්තා මෙහි සතුටින් වෙසේ.“
ඉක්බිති රේවතිය මෙසේ කීවාය. “නන්දියගේ බිරිඳ වූ මම සම්පූර්ණ නිවාසයටම අධිපති වූ ගෘහනිය වීමි. දැනුදු මට ස්වමියාගේ විමානයෙහි සතුටින් සිටිය යුතු වෙමි. නිරය දැකීමට මම කැමති නොවෙමි.“
මෙසේ කියන්නා වූ ඇයට “ඔබ කැමති වන්නෙහි හෝ වේවා, කැමති නොවන්නෙහි හෝ වේවා, ඒ ඔබේ කැමැත්තෙන් කවර ඵලයෙක්ද?“ යයි යක්‍ෂයෝ කියා ඇය නිරය අසලට පමුණුවා මෙසේ කීහ.
“පාපී ස්ත්‍රිය, මේ ඔබගේ නිරයයි. ඔබ විසින් මිනිස් ලොවදී පිනක් නොකරන ලදී. මසුරු වූ, අනුන් කෝපයට පත් කරවන්නා වූ, පාපී තැනැත්තියකි. දෙවියන්ගේ සහායට යාම නො ලබන්නෙහිය.“
මෙසේ කියා ඒ යක්‍ෂයන් දෙදෙන එහිදී අතුරුදන් වූහ. එවැනි වූ යමපල්ලන් දෙදෙනෙකු ‘සංසවක’ නම් වූ ගූථ නරකයේ දැමීමට තමන් අදිනු දැක ඒ නිරය ගැන මෙසේ විචාළාය.
“මළ මූත්‍ර සහ අසූචි කුමක් නිසා දක්නට ලැබේද, අසූචියෙහි පැසවූ මේ දුගඳ කුමක් ද, මේ හමාගෙන යනුයේ කුමන දුගඳක්ද?“
යමපල්ලන් විසින් “රේවතියනි! ඔබ අවුරුදු දහස් ගණනක් යම් නිරයක පැසෙන්නෙහිද, ඒ නම් පුරුෂයන් සිය දෙනෙකුගේ ගැඹුර ඇති ‘සංසවක’ නම් මේ නිරයයි.“
එය කියන ලද කල්හි එහි ඉපදීමට හේතු වූ කර්මය විමසමින් රේවතිය මෙසේ ඇසුවාය.
“කයින් වචනයෙන් මනසින් කවරනම් වැරදි දෙයක් මා කරන ලද්දේ ද, පුරුෂයන් සියයකගේ ගැඹුර ඇති සංසවක නම් නරකය කුමක් නිසා මා විසින් ලබන ලද්දේ ද?“
“ශ්‍රමණයෝ ද බ්‍රාහ්මණයෝ ද අන්‍ය වූ යාචකයෝ ද වෙළඳුන් ද ඔබ විසින් බොරුවක් වංචා කළෙහිය. ඔබ විසින් ඒ පව කරන ලදී.“ යනුවෙන් ඇගේ ඒ පාපකර්මය කියා නැවතත් ඒ යමපල්ලෝ මෙසේද කීහ.
“රේවතිය, ඉහත කී ඒ කර්මයේ හේතුවෙන් පුරුෂයන් සියයකගේ ගැඹුර ඇති සංසවක නම් නිරය ඔබ විසින් ලබන ලදී. ඔබ එහි අවුරුදු දහස් ගණන් පැසෙන්නෙහිය. ඔබට එහි හුදෙක් සංසවක නිරයේ උපත පමණක් ලැබෙන්නේ නොවේ. මෙහි බොහෝ අවුරුදු දහස් ගණනක් පැසී ඉන් නැගී අත් සිඳදැමීම් ආදී දුක් විඳීමට ද ලැබෙන්නේ ය. අපායෙහි වධ දීම් වශයෙන් ඔබේ අත් ද පාදයන් ද, සිඳිත්. කන්ද නාසය ද සිඳිති. තව ද කැලෑ කවුඩු ගණයා සාමූහිකව එක් වී වෙවුලන්නා වූ ඔබව කා දමති“
යනුවෙන් එහි දී ලැබිය යුතු ලැබිය හැකි දේ කීහ.
නැවත ඇය තමන් මිනිස් ලොවට ආපසු ගෙන්වා ගැනීම සඳහා යාඥා කිරීම් වශයෙන් විවිධ විලාප නැගීම් කළාය.
“දන් දීමෙන් ද මනා හැසිරීමෙන් ද සංයමයෙන් ද තමා දමනය කර ගැනීමෙන් ද යන මේවායින් යමක් කොට යමෙකු සුවසේ වෙසේද, පසුතැවිල්ලට පත් නොවේද, එබඳු බොහෝ කුසල් කළ හැකිවනු පිණිස මා නැවත ආපසු යවන්න.“
යමපල්ලෝ නැවත මෙසේ කීහ.
“ඔබ පෙරදී ප්‍රමාද වී සිට දැන් වැළපෙන්නෙහිය. තමන් විසින් කරන ලද කර්මය විපාක දැන් අනුභව කරන්නේ ය.“
නැවතත් ඇය මෙසේ කීවාය.
“මම ඒකාන්තයෙන් මේ භවයෙන් ගොස් මිනිස් දිවියක් ලබාගෙන පරිත්‍යාගශීලීව, ශීලයෙන් යුතුව, දන් දීමෙන් ද මනා හැසිරීමෙන් ද, සංයමයෙන් ද, දමනයෙන් ද, යුතු බොහෝ කුසල් කරන්නෙමි. ප්‍රසන්න වූ සිතින් යුතුව උයන් වතු රෝපණය කිරීම, යාමට අපහසු මාර්ග සකස් කිරීම, දන්සල් හා ළිං තැනවීම, අව පක්‍ෂයෙහි පුර පක්‍ෂයෙහි අටවක් තුදුස්වක් පසළොස්වක් යන සියලු දිනයන්හි සංවර ලෙස අටසිල්වලින් යුතු උපෝසථය සමාදන් වෙමි. දන් දීමෙහි ප්‍රමාද නොවෙමි. අනේ මා නැවත මිනිස් ලොවට රැගෙන යන්න“
මෙසේ විලාප කියන්නා වූ එසේම වෙවුලන්නා වූ ඇයව පාදයන් ඉහලට ද හිස පහළට ද සිටින සේ ඝෝර වූ නිරයෙහි බහාලූහ.
භික්‍ෂූහු, රේවතිය යක්‍ෂයින් විසින් අල්ලාගෙන ගිය බව ශාස්තෲන් වහන්සේට දැන්වූහ. එය අසා භාග්‍යවතුන් වහන්සේ මුල පටන් මේ කථාවස්තුව වදාරා පසුව විස්තර වශයෙන් දහම් දෙසූහ. දේශනාවගේ අවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණියහ.

රේවතිය පිළිබඳ කථාව බොහෝ සෙයින්ම, රේවතී විමානය යයි ව්‍යවහාර කරනු ලැබේ. යම් හෙයකින් රේවතිය විමාන දේවතාවියක් නො වන්නීය. එසේ වුවත් නන්දිය දිව්‍ය පුත්‍රයාගේ විමානය ආදී සම්පත් සමග කථාවස්තුව සම්බන්ධ වේ. එනිසා පුරුෂ විමාන වස්තු කථාවන්හි දී මෙය සංග්‍රහවට නංවන ලද්දේ යයි දතයුතුය.

(විමානවත්ථු අට්ඨකතාවේ රේවතී විමානවත්ථු වර්ණනාව ඇසුරිනි)

01/03/2026
2026 පෙබරවාරි මස 21 හා 22 යන දෙදින, පූජ්‍ය මාහෝ ගරු සුමේධ ස්වාමින් වහන්සේට සහ පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේට පි...
01/03/2026

2026 පෙබරවාරි මස 21 හා 22 යන දෙදින, පූජ්‍ය මාහෝ ගරු සුමේධ ස්වාමින් වහන්සේට සහ පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේට පිං අනුමෝදන් කිරීම පිණිසත් අටමස්ථානාධිපති අතිගෞරවනීය පල්ලේගම හේමරතන මහා නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පිණිසත් පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලද විශේෂ පිංකම. (ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස හා ලෝවාමහාප්‍රාසාදය අභියස.)

සතර පෙර නිමිති
13/02/2026

සතර පෙර නිමිති

පඤ්චසීලය රැකීමේ ආනිසංස
08/02/2026

පඤ්චසීලය රැකීමේ ආනිසංස

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 - 70 භික්ෂු දින දර්ශනය (ව්‍ය ව. 2026)
05/02/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 - 70 භික්ෂු දින දර්ශනය (ව්‍ය ව. 2026)

Address

Makoora
Warakapola
11212

Alerts

Be the first to know and let us send you an email when Navimana Forest Monastery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Navimana Forest Monastery:

Shortcuts

Share